42.31%
17.27%
32.76%
August 15, 2024

මෙම මැතිවරණ කාලසීමාව තුළ පෞද්ගලික තොරතුරු රැස් කිරීම ප්‍රවර්ධනය කිරීමට අදාළ සබැඳි ක්ලික් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සාමාන්‍ය ජනතාවට අනතුරු ඇඟවයි.

එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල පවසන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කර නිල සේවාවන් මුවාවෙන් පෞද්ගලික සංවේදී තොරතුරු එක්රැස් කරන වෙබ් අඩවියක් සොයා ගෙන ඇති බවයි.

“මෙම ව්‍යාජ වෙබ් අඩවිය මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට බොහෝදුරට සමානයි. එය මැතිවරණයට පෙර විවිධ රාජ්‍ය අංශයේ පුරප්පාඩු සඳහා නව සේවකයන් බඳවා ගැනීම ගැන ප්‍රචාර සිදුකරනවා. එම පුරප්පාඩු සඳහා නව අයදුම්පත් නොමිලේ භාර ගැනීමට දොරටුවක් විවෘත කර තිබෙනවා,” යනුවෙන් පහු පැහැදිලි කරයි.

“එම දොරටුවෙන් අදාළ වෙබ් අඩවියට පිවිසුණාට පසුව පෞද්ගලික තොරතුරු සහිත ප්‍රශ්නාවලියක් පිරවීමට අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. අවසානයේදී, WhatsApp කණ්ඩායම් කිහිපයක් අතර අවසාන සබැඳිය බෙදා ගැනීමට පණිවිඩයකින් ඔවුන්ට උපදෙස් ලැබෙනවා,” යැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ පිළිබඳ මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඔවුන් ඉල්ලා තිබේ.

ඊට අමතරව තවත් දෙදෙනෙකු විසින් ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත පැමිණිලි කර ඇති බව දමුණුපොල පවසයි.

ඒ අනුව මෙම වෙබ් අඩවිය වසා දැමීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වහාම පියවර ගෙන තිබේ.

කෙසේවෙතත්, සමාජ මාධ්‍ය කණ්ඩායම් හරහා සංසරණය වන ව්‍යාජ ආරාධනා සබැඳි සහ වෙබ් අඩවි ක්ලික් කිරීමෙන් වළකින ලෙස චාරුක දමුණුපොල ජනතාවට උපදෙස් දෙයි.

 

42.31%
17.27%
32.76%