March 26, 2024

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් අත්කර දෙමින් නිමා වූ බංග්ලාදේශය සමග පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක කලීඩ් අහමඩ් විසින් කමිඳු මෙන්ඩිස් දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමට ගත් අසාර්ථක උත්සාහය පිළිබඳව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඩකට් අදහස් දක්වා තිබේ.

පන්දු යවන්නාගේ අන්තයේ සිටි කමිඳු මෙන්ඩිස් ඉලක්ක කර ගනිමින් දුවද්දී දැවී ගැනීමට ගත් උත්සාහයක් සම්බන්ධ එම සිද්ධිය සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විය.

කෙසේවෙතත්, අහමඩ්ගේ පන්දුවෙන් එම දවා ගැනීම සිදුකර ගැනීමට නොහැකි විය.

එවැනි දවා ගැනීම් හඳුන්වනු ලබන්නේ “මෑන්කැඩ්” ලෙසිනි.

ක්‍රිකට් ක්‍රීඩාව තුළ එවැනි දවා ගැනීමකට ක්‍රිකට් නීතිය අනුව හැකියාවක් තිබුණ ද සාමාන්‍යයෙන් එවැනි දවා ගැනීම් සිදු නොකරන්නේ ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස ප්‍රකටව ඇති නිසා මෙන්ම ක්‍රීඩාවේ ජීව ගුණයට එය එතරම් යහපත් නොවන බැවිනි.

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඩකට් සිය X ගිණුමේ සටහන් කර තිබුණේ “මෑන්කැඩ්” දවා ගැනීමකට වඩා නරක දෙයක් ඇත්නම් ඒ එවැනි දවා ගැනීමක් සඳහා උත්සාහ කර අසාර්ථක වීම බවයි.

එහිදී එම සිදුවීම උපහාසයට ලක්කිරීම සඳහා ඔහු සිනාසෙන ඉමෝජි ද එක්කර තිබිණි.