April 20, 2024

ස්වාභාවික පරිසරයෙන් බැහැරව සිටින ලොව වයස්ගතම ඔරංඔටන් වන බෙලා මේ සතියේ 63 වැනි උපන්දිනය සමරා තිබේ.

බෙලා ලෙස පසුව නම් තබන ලද මෙම ඔරංඔටන් සුමාත්‍රා වනයෙන් 1964 දී අල්ලාගෙන තිබිණි.

එහිදී ඔවුන් ගණනය කර ඇත්තේ බෙලා 1961 දී උපත ලැබූ බවටයි.

පසුව බෙලා ජර්මනියේ හැම්බර්ග් හි හැගන්බෙක් සත්වෝද්‍යානයට රැගෙන විත් තිබේ.

සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය පැවසුවේ බෙලා හොඳම තත්ත්වයේ සිටින බවයි.

තම්බන ලද බත් සහ විවිධ පළතුරුවලින් සාදන ලද කේක් එකක් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලබා දී ඇති අතර එය ඇය හදාගත් දරුවකු වන බෙරානි සමඟ බෙදා ගත් බව සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය සඳහන් කර තිබිණි .

වනයේ සිටින සාමාන්‍ය ඔරංඔටන්ගේ ආයු කාලය අවුරුදු 35-40ක් වන අතර සත්වෝද්‍යානයකදී ආයු කාලය වසර 50 ක් පමණ දක්වා වැඩිවේ.

එක්සත් ජනපදයේ ඔරිගන් සත්වෝද්‍යානයේ සිටි ඉන්ජි නම් සුමාත්‍රා ගැහැණු ඔරංඔටංගේ මරණයෙන් පසුව 2021 දී බෙලා දැනට ජීවත්ව සිටින වයස්ගතම ඔරංඔටන් බවට පත්විය.

ඉන්ජි බෙලාට වඩා අවුරුද්දක් වැඩිමල් යැයි සැළකේ.

බෙලා ඇගේ සත්වෝද්‍යාන පාලකයන් විසින් විස්තර කර ඇත්තේ අවංක, විචක්ෂණශීලී, කුතුහලයෙන් පිරි, බුද්ධිමත්, ආදරණීය සහ කිසිදා ආක්‍රමණශීලී නොවුණු අයකු ලෙසිනි.

ඇගේ ජීවිත කාලය පුරාම, ඇය තමාගේම පැටවුන් හය දෙනෙකු බිහි කර ඇති අතර, මව්වරුන් විසින් පිළි නොගත් පැටවුන් හතර දෙනෙකු ද ඇති දැඩි කිරීම නිසා ඇයට ‘සුපිරි අම්මා'(super mom) යන අන්වර්ථ නාමය ලබා දී තිබේ.

දැන් ඇයට ඉතිරිව ඇත්තේ දත් ඉතා ස්වල්පයකි.

එබැවින් බෙලාගේ ප්‍රියතම ආහාරය වන්නේ රසවත් මැගී සෝස් හෝ මී පැණි වැනි රසකාරකයක් සමඟ රස කළ සෙමොලිනා කැඳයි.

ඇය මෘදු පළතුරු සහ එළවළු ද රස විඳියි.

මෑතකදී උපන් දිනයක් සැමරූ ජර්මනියේ වෙසෙන එකම පැරණි වානරයා බෙලා නොවේ.

සත්වෝද්‍යානයක සිටින ලොව වයස්ගතම ගෝරිල්ලා වන ෆැටූ අප්‍රේල් 13 වැනි දින 67 වැනි වියට පත් විය.

ෆාටූ 1959 දී වනයේ දී අල්ලා ගත් අතර නාවිකයකු විසින් ප්‍රංශයට ගෙනවිත් තිබිණි.

ඔහු තැබෑරුමක ගෙවීමක් ලෙස ෆාටූ යොදාගෙන තිබිණි.

ෆාටූ එම වසරේම බර්ලින් සත්වෝද්‍යානය විසින් මිලදී ගන්නා ලදී.

වර්තමානයේ සත්වෝද්‍යාන සඳහා වන සතුන් අල්ලා ගැනීම සත්වෝද්‍යාන ප්‍රජාව විසින් තවදුරටත් පිළිගනු නොලබයි.

සතුන්ගෙන් අතිමහත් බහුතරයක් දැන් සත්වෝද්‍යානවල ඉපදී හෝ අභිජනන වැඩසටහන් සඳහා පහසුකම් සැපයීමට හුවමාරු කර ගැනීමෙන් ලබාගෙන තිබේ.