October 19, 2023

මඩකළපුව මයිලතමඩු මාධවනෙයි ප්‍රදේශයේ අලුතින් තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමාවක් කිසියම් පිරිසක් විසින් ඉවත් කර ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන් මයිලතාමඩු ප්‍රදේශයට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.

මෙම සිද්ධිය සැලවීමෙන් අනතුරුව එහි පැමිණි අම්පිටියේ සුමනරත්න හිමිට අදාළ ස්ථානය වෙත යෑමට පොලිසියෙන් බාධාකර ඇත.

එහිදී පොලිස් නිලධාරීන් හට සුමනරත්න හිමි බැනවදින ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

පසුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අම්පිටියේ සුමනරත්න හිමියෝ මෙසේ පැවසූහ.

”පෙරේදා (17) පාර්ලිමේන්තුවේදී ශානිකියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා අරනගන්විලින් ඇතුළට භික්ෂුන් වහන්සේලාට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම වාහනවලට ඇතුළට එන්න දෙන්න එපා කියලා.

ඒ කියන්න හේතුව වෙන්නේ, පසුගිය ඉරිදා ජනාධිපතිවරයා ශානිකියන් (රාසමනික්කම් මන්ත්‍රීවරයා) ඇතුළු නිලධාරීන් පිරිසක් ජනාධිපති මන්දිරයට කැඳවලා සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට ඕඩරයක් දීලා තියෙනවා කරුණාකරලා බැරියර් දාලා සිංහල හාමුදුරුවන්ට එන්න දෙන්න එපා කියලා”

අම්පිටියේ සුමනරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නව බුද්ධ ප්‍රතිමාව පසුගිය 16 වැනිදා තැන්පත් කර ඇතැයි පැවැසේ.

බුද්ධ ප්‍රතිමාව තැන්පත් කිරීමට තීරණය කර ඇත්තේ මයිලත්තමඩු තණබිම් ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් දෙමළ ගොවීන් සිය දුක්ගැනවිලි ප්‍රකාශ කරමින් පසුගිය දින 32ක පමණ කාලයක සිට අඛණ්ඩ විරෝධතාවයක නිරත වෙමින් සිටින අවස්ථාවකදීය.

එම විරෝධතාකරුවන් චෝදනා කර ඇත්තේ, සිංහල පදිංචිකරුවන් ඔවුන්ගේ ඉඩම් ක්‍රමක්‍රමයෙන් ආක්‍රමණය කරමින් සිටින බවත්, එමගින් දෙමළ ගොවීන් අවතැන් වී ඇති බවත්ය.

මෙම ආන්දෝලනාත්මක සිදුවීමට පසුබිම් වන්නේ මඩකළපුවේ පශු සම්පත් ගොවීන් තම ඉඩම් ආක්‍රමණය කිරීමට එරෙහිව අඛණ්ඩව සිදුකරන විරෝධතාව සහ අවම වශයෙන් 2021 දක්වා දිවෙන සිංහල පදිංචිකරුවන් විසින් ඔවුන්ගේ ගවයන් ඝාතනය කරන බවට එල්ල කෙරෙන චෝදනාවයි.

එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේදී, මාධවනෙයි සහ මයිලත්තමඩු යන මායිම් ගම්මානවල දෙමළ ගොවීන් සම්ප්‍රදායිකව භාවිත කරන ඉඩම්වල නව බෞද්ධ විහාරස්ථානයක් ඉදිකෙරෙමින් පවතින බවට කනස්සල්ලක් මතුව ඇත.

42.31%
17.27%
32.76%