January 29, 2024

නීතිවිරෝධී අන්දමින් පිරමීඩාකාර මුදල් ගනුදෙනු සිදු කරන “ට්‍රෙඩ්වින් ශෙයාර්” නමින් තහනම් මූල්‍යායතනයක් අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500කට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් බස්නායක නිලමේවරයකු සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන ටෙලි නිළියක් ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කහටගස්දිගිලිය වැඩබලන මහේස්ත්‍රාත් දිමුතු පෙරේරා ඊයේ (28) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නො. 39/2, අස්වයා බැඳි වැව, ගලෙන්බිඳුණුවැව පදිංචි මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක බස්නායක නිලමේවරයකු වන වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝෂාන් වීරසේකර (39) නමැත්තා සහ ඔහුගේ අනියම් බිරිය බව කියන සියඹලාගොඩ දන්තුරේ පදිංචි එගොඩගෙදර චමිලා ප්‍රියදර්ශනී රාජරත්න නමැති රංගන ශිල්පිනියකි. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු නිතීවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරමින් එනම් තහනම් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ජනතාව රවටා ප්‍රතිලාභ ලබාදෙන මුවාවෙන් රුපියල් කෝටි 500කට අධික මෙම මුදල වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතී විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

මෙහි ප්‍රධාන සැකකරුගේ මෙම නිති විරෝධී ක්‍රියාවට දෙවැනි සැකකාරිය අධාර අනුබල දෙමින් ඔහුගේ සියලු මුදල් ගනුදෙනු සිදුකර ඇති බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරද්දී ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටි බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ඉකුත් 2022 වර්ෂයේ පෙබරවාරි මස 23 වැනිදා සිට ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තා කර තිබූ බවත් සැකකරුවන් පදිංචි ලිපිනවලින් පළාගොස් සැඟව සිටි බවට එහිදී අනාවරණය වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. මෙහි ප්‍රධාන සැකකරු ඔහුගේ අනියම් බිරිය බව කියන තැනැත්තිය සමඟ පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටියදී පෙරේදා (27) රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර, මොවුන් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි වත්කම් රාශියක් ද උපයාගෙන ඇති බවට මේ වන විට තොරතුරු හෙළි වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට අනුරාධපුර කහටගස්දිලිය ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ගොවි ජනතාව මෙන්ම විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 300කට අධික පිරිසක් ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් මෙම නීතිවිරෝධී මූල්‍ය ආයතනයට මුදල් යොදවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.

“ට්‍රෙඩ්වින් ශෙයාර්” නමැති මෙම නීතිවිරෝධී මූල්‍යායතනය වසර පහක පමණ කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති අතර ඉකුත් 2022 වසරේ ජනවාරි මාසයෙන් පසු කිසිදු ප්‍රතිලාභයක් හෝ නොගෙවා ඇති ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පැමිණිලිවල සඳහන්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම සැකකරු අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පාසලක උපාධිධාරී ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති බවත් මේ වන විටත් මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරයක බස්නායක නිළමේවරයකු වශයෙන් කටයුතු කරමින් එම තනතුරු වරප්‍රසාද මුවාවෙන් එම ප්‍රදේශයේ විශාල ජනතාවක් රවටා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ මෙහි සැකකරු විසින් සිදුකරනු ලැබූ “ට්‍රෙඩ්වින් ශෙයාර්” නමැති මෙම නීතිවිරෝධී මූල්‍යායතනයේ වංචාවට හසුවූ පුද්ගලයන් 130ක පමණ පිරිසක් පොලිස්පතිවරයාට කළ පැමිණිලිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ විමර්ශන අංශය මඟින් ද නඩු කටයුතු පවත්වාගෙන යනු ලබන බවය. එමෙන්ම, මෙම සැකකරුට එරෙහිව කැබිතිගොල්ලෑව විශේෂ විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයකට අනුව කූට ලේඛන සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළේය. බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තියට අනුව මෙම අයවලුන් සිදුකර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. මෙම සිද්ධිය හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ජනතාව මේ වන විට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව වන අතර, ඒ හේතුවෙන් මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය. සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සැකකරුවන් අධිකරණය මඟහැර නොයන බවට සහතික විය හැකි බවත්, මිනිසුන් කිහිප දෙනෙකු බෝඩ්ලෑලි උස්සාගෙන සිටි පමණකින් මහජන කැළඹීමක් ඇතිවේ යැයි නිගමනය කළ නොහැකි බැවින්, ඕනෑම ඇප කොන්දේසියක් මත ඔවුන්ට ඇප ලබා දෙන ලෙසත්ය. ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති බැවින්, සැකකරුවන් ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

මේ ආතර, එම සිද්ධිය සම්බන්ධයෙන් අඩංගුවට ගත් තරිදු වීරසේකර නම් පුද්ගලයා බස්නායක නිලමේවරයකු නොවන බව බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් පවසයි. පිළිමතලා ප්‍රදේශයේ සැඟව සිටියදී මෙම පුද්ගලයාව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් බවත් මොහු හිටපු බස්නායක නිලමේවරයෙකු ලෙස පෙනීසිට ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් හෙතෙම කීය. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට හා රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව රජ දවස සිට මෙරට ඉපැරැණි හා ඓතිහාසික දේවාලවල සිටිනුයේ බස්නායක නිලමේවරු 31 දෙනකු පමණක් බවද ඒ හැර තවත් බස්නායක නිලමේවරු සිටී නම් ඒ සියලු දෙනා හොරු බවද බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. මේ වනවිට ව්‍යාජ බස්නායක නිලමේවරු සියදෙනකු පමණ සිටින බව ද හෙතෙම අවධාරණය කළේය. මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාද මේ ආකාරයෙන් කිසියම් දේවාලයක ව්‍යාජ බස්නායක නිලමේවරයකු ලෙස සිටින්නට ඇතැයි ද, රජ සමයේ සිට පැවතෙන ගෞරවණීය තනතුරක් වූ බස්නායක නිලමේ ධූරයේ මෙන්ම මුල් ඇඳුමේ ගෞරවය කෙළෙසන්නන්ට එරෙහිව ඉතා කඩිනමින් නීතිමය පියවර ගන්නේනේ යැයිද ඔහු කීවේය.
(දිනමිණ)

 

42.31%
17.27%
32.76%