January 14, 2024

මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාලය මර්දනය කිරීමේ අරමුණෙන් ඇරැඹි ‘යුක්තිය’ විශේෂිත මෙහෙයුමට අදාළව පොලිස් කොට්ඨාස 45ක් තුළ ප්‍රධාන මාර්ග බාධක 45ක් දෛනිකව හා ස්ථිරව ස්ථාපිත කොට වාහන සෝදිසි කිරීම් මේ වනවිට අරඹා තිබේ.

දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල සිටින රථවාහන නිලධාරීන් මේ සඳහා යොදවා ඇති අතර, රථවාහන මූලස්ථාන මෙම සෝදිසි කිරීම් අධීක්ෂණය කරනු ඇත.

ඉකුත් මස 17 වැනිදා සිට දෙසැම්බර් 23 දක්වා දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් යුක්තිය මෙහෙයුමට සම්බන්ධ කරගත් බවත්, නත්තල් නිවාඩුවෙන් පසු ඇරඹි මෙම මෙහෙයුමට සෑම පොලිස් ස්ථානයකම දූෂණ මර්දන අංශවල නිලධාරීන්, විවිධ පැමිණිලි අංශ නිලධාරීන්, රථවාහන නිලධාරීන්ද එක්කර ගත් බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කියයි.

එමෙන්ම ඉදිරියේදී දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල අපරාධ විමර්ශන අංශවල නිලධාරීන්ද මෙම මෙහෙයුමට එක්කර ගන්නා බව හෙතෙම පවසයි.

මෙම මාර්ග බාධක ක්‍රියාත්මක කිර්ම තුළ විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවත්, ඒ අනුව දිවයින පුරාම විවිධ ආකාරයේ මෙහෙයුම් දෛනිකව සිදු කරමින් මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙහි මූලික අරමුණ බවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.(මව්බිම)