June 19, 2024

ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය යළිත් අවධාරණය කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයට සහ සමස්ත අධිකරණ පද්ධතියටම තර්ජනයක් එල්ල කරන බවයි.

පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීම භයානක පූර්වාදර්ශයක් වනු ඇති බව නීතිඥ සංගමය පෙන්වාදෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සමාලෝචනය කිරීමට තේරීම් කාරක සභාවක් පිහිටුවීමට යෝජනා කරමින් පසුගියදා කළ පාර්ලිමේන්තු ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වය සහ බලය හෑල්ලූ කිරීමේ උත්සාහයක් ලෙස නීතිඥ සංගමය දැඩි ලෙස සලකයි.

එම ප්‍රකාශය තනිකරම නිර්මාණාත්මක විවේචනයකින් හෝ සාධාරණ ප්‍රකාශයකින් ඔබ්බට ගොස් ඇති බව නීතිඥ සංගමය වැඩිදුරටත් නිරීක්ෂණය කරයි.

අධිකරණයට ස්වාධීනව හා බාහිර බලපෑම්වලින් තොරව කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව තරයේ විශ්වාස කරන බව නීතිඥ සංගමය පවසයි.

“මෙම පනත් කෙටුම්පත රටේ උත්තරීතර නීතියට අනුකූලද යන්න තක්සේරු කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය ව්‍යවස්ථාපිත වගකීම ඉටු කර ඇත. පුද්ගලයන්ට එකඟ වීමට හෝ එකඟ නොවීමට අයිතියක් ඇතත්, ව්‍යවස්ථාදායකය හෝ විධායකය ජනතාව වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීම සම්බන්ධයෙන් අධිකරණය විවේචනය නොකළ යුතුය” යැයි නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%