July 27, 2024

පොලිස්පති ධුරයට දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය හෑල්ලුවට ලක්කිරීමේ අරමුණින් මෑතකාලීනව ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෙළාදකියි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලද ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද පත්වීම් ප්‍රශ්න කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට ආණ්ඩුව කරන ප්‍රකාශය ‘සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි’ බවයි.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බල ප්‍රදේශයට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 411 වගන්තිය අනුව) අනුකූල වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව, යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේ බලය හැර ජනාධිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත් වන බව ද ඒ හා සමානව පැහැදිලිය.” යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

ඉහත කී නඩුවලදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නීතිපතිවරයා සහ පොලිස්පති තෙන්නකෝන්ගේ නීතීඥවරයා ඇතුළු සියලු පාර්ශ්වයන් විභාග කර ඉදිරියට යෑමට අවසර ලබාදෙමින් සිය නියෝගය ලබා දුන් බව ද එම සංගමය වැඩිදුරටත් කියා සිටින අතර, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයාගේ රාජකාරි, කාර්යයන් සහ බලතල ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නඩුව අවසන් තීරණය කරන තෙක් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී.

“නීතිපතිවරයා සහ සියලුම නීතීඥවරුන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය ඇතිව එම නඩු 2024 නොවැම්බර් 11 වැනි දින විභාගයට ගැනීමට නියම කර ඇත” නීතීඥ සංගමයවැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ ජනාධිපතිවරයා සිදුකරන පත්වීම් සමාලෝචනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය ස්ථිරව ස්ථාපිත කර ඇති බව නීතීඥ සංගමය අවධාරණය කරයි.

411 වැනි ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගනුලබන තීරණ සහ 35 වැනි ව්‍යවස්ථාව යටතේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස් කරන ලද ජනාධිපති බලතල අධීක්‍ෂණය කිරීම මෙයට ඇතුළත් බව එම නිවේදනයේ සඳහන් වේ.

අධිකරණයේ ස්වාධීනත්වය යළි තහවුරු කරමින් නීතීඥ සංගමය පවසන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු අග්‍රාමාත්‍යවරයා හෝ කථානායකවරයා ඇතුළු වෙනත් කිසිදු ආයතනයකට ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

අධිකරණ තීන්දුවලට ගරු කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් යුක්තිය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වී ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළනු ඇතැයි නීතීඥ සංගමය අනතුරු අඟවයි.