March 28, 2025

මූල්‍ය දුෂ්කරතා ඇති වූ විට බැංකුවලට බොහෝ විට ණයගැතියන්ගේ අතීත දායකත්වය අමතක වන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු එම අදහස් පළකළේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් සංවිධානය කරන ලද උත්සවයක් අමතමින් ය.

‘බැංකු ණය’ ගැහැණු ළමුන්ට සමාන කළ අමාත්‍යවරයා බොල් ණය සහ ඇතැම් කාන්තාවන්ගේ හැසිරීම සමාන බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ බැංකු බොහෝ විට තම ගනුදෙනුකරුවන්ගේ යහපත් ක්‍රියා අමතක කරන බවයි.

”ණය කියන්නේ සමහර ගෑණු ළමයි වගේ. හොඳට ඉන්නකම් හොඳයි. නරක් වුනොත් නරකටම නරකයි. පොඩි හරි වැරැද්දක් වෙලා නරක් වුණොත් එහෙම පරණ ලියුම් අරන් එනවා නේද? වෙච්ච පොරොන්දු අරන් එනවා. මෙහෙමයි ඔයා හිටියේ කියලා. හොඳ ඔක්කොම පැත්තක. බැංකුත් එහෙමයි. බැංකුත් සමහර ඒවා එහෙම තමයි. බැංකුවට සල්ලි දීපු ඒවා දාපු ඒවා පොලී ගෙවපු ඒවා අමතකයි. දිනයක් දෙනවා, ‘වෙන්දේසි කරනවා ඈ’ හරියට මම මේවා ප්‍රසිද්ධ කරනවා කියලා ගෑණු ළමයි කියන්නවා වගේ තමයි” යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.

බැංකු සහ ණය ගැතියන් අතර ශක්තිමත් සබඳතාවයක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

කොවිඩ්-19 වසංගත හා ආර්ථික අර්බුදයෙන් පසු විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා පවතින ණය අභියෝග ඉස්මතු කළ අමාත්‍යවරයා, රජය මෙම ගැටළු හඳුනාගෙන විසඳුම් සෙවීම සඳහා බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ද පැවැසීය.

එබැවින් බැංකු සමඟ වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙස ඔහු අරගල කරන ව්‍යවසායන්ගෙන් ඉල්ලා සිටියේය.

“දෙසැම්බර් මාසයෙන් පසුවත් අපි ගිවිසුම්වලට එළඹීමට අපොහොසත් වුවහොත්, තීරණ ගැනීමට බැංකුවලටද සිදුවෙනවා” ඔහු පැවැසීය.