August 2, 2024

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ඩකා හි ඉන්දීය මහ කොමසාරිස් ප්‍රනායි වර්මාට පවසා ඇත්තේ, රැකියා කෝටා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අතරතුර, මෑතකදී තම ආණ්ඩුව පළවා හැරීමට සිය රටේ ඇති වූ විරෝධතා “ශ්‍රී ලංකාවේ වැනි තත්වයක්” නිර්මාණය කිරීම අරමුණු කරගත් බවයි.

නිල ඇස්තමේන්තු වලට අනුව අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනකු මියගිය මෑත කාලීන ප්‍රචණ්ඩත්වය ‘ත්‍රස්තවාදී ප්‍රහාරයක්’ ලෙස ඇය හඳුන්වා ඇත.

“එය කිසිසේත්ම විරෝධතා ව්‍යාපාරයක් නොවූ අතර එක් අවස්ථාවක එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට පත් විය,” යැයි හසීනා සඳහන් කර තිබේ.

රැස්වීමකින් පසු හසීනාගේ මාධ්‍ය ලේකම් නයීම්මුල් ඉස්ලාම් ඛාන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කරමින් අගමැතිනියගේ අදහස් මෙසේ සඳහන් කර ඇත. “ඇත්ත වශයෙන්ම ඔවුන් සැලසුම් කර තිබුණේ ශ්‍රී ලංකාවේ ආකාරයේ ප්‍රචණ්ඩත්වය ඇති කර ආණ්ඩුව නෙරපා හැරීමටය”

2022 ජුලි මාසයේදී දැවැන්ත ජනකායක් පොලිසිය සහ සොල්දාදුවන් අභිබවා ගොස් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි නිල නිවසට සහ කාර්යාලවලට කඩා වැදී, ජනාධිපතිවරයාට පළා යෑමට පොළඹවන ලදී.

 

42.31%
17.27%
32.76%