January 3, 2024

කම්කරු නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බංග්ලාදේශයේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් සිරගත කරන ලෙස එරට කම්කරු අධිකරණයක් නියෝග කර තිබේ.

කෙසේවෙතත් මෙම තීන්දුව ලබාදුන් නඩු විභාගය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ, එරට මහ මැතිවරණයට පෙර දේශපාලන වුවමනා එපාකම් මත විමසන ලද නඩු විභාගයක් බවටයි.

ග්‍රාමීන් ටෙලිකොම් නම් සමාගමේ සේවකයන් සඳහා සුබසාධන අරමුදලක් නිර්මාණය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඩකාහි කම්කරු අධිකරණයක්,ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන 83 හැවිරිදි මුහම්මද් යුනුස් සහ තවත් සගයන් තිදෙනෙකු වරදකරු කළේය.

සිව්දෙනාම නඩුවේ සියලු වැරදි ප්‍රතික්ෂේප කර ඇති බැවින් අභියාචනය විභාග වන තෙක් ඔවුන්ට ඇප ලබා දී තිබේ.

“මගේ නීතීඥයන් උසාවියේදී ඒත්තු ගැන්වෙන ලෙස තර්ක කර ඇති පරිදි, මට එරෙහි මෙම තීන්දුව සියලු නීතිමය පූර්වාදර්ශ සහ තර්කන්යට පටහැනියි” යුනුස් තීන්දුවෙන් පසුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

“අසාධාරණත්වයට එරෙහිව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් අපගේ සෑම පුරවැසියකුම එක හඬින් කතාකරන ලෙස මම බංග්ලාදේශ ජනතාවගෙන් ඉල්ලා සිටිමි.” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර තිබේ.

යුනුස්ගේ නීතීඥ අබ්දුල්ලා අල් මාමුන් කියාසිටියේ තීන්දුවට එරෙහිව තමා අභියාචනයක් ඉදිරිපත් කරන අතර, මෙම නඩුව දේශපාලනිකව අභිප්‍රේරණය වූ, අගමැතිනි ෂීක් හසීනාගේ ප්‍රමුඛ විවේචකයා වන මුහම්මද් යුනුස්ට හිරිහැර කිරීම අරමුණු කරගත් එකක් බවයි.

යුනුස් “දුප්පතුන්ගේ බැංකුකරුවා” ලෙස හඳුන්වනු ලබන අතර, ඔහු සහ ඔහුගේ ග්‍රාමීන් බැංකුව 2006 දී මිනිසුන් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමේ කාර්යය වෙනුවෙන් ඔහුට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී.

සාමාන්‍යයෙන් ඩොලර් 100ට අඩු ආදායමක් සහිත බංග්ලාදේශයේ ග්‍රාමීය දුප්පතුන්ට කුඩා ණය ලබා දෙන නව්‍ය ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහනක් හඳුන්වාදීම සඳහා යුනුස් පිළිගැනේ.

මෙම මුලපිරීම ක්ෂුද්‍ර ණය ලෙස හැඳින්වෙන ගෝලීය ව්‍යාපාරයකට ද මග පාදන ලදී.

වරදකරු කරමින් තීන්දුව ප්‍රකාශයට පත්කළ ඩකාහි තෙවැනි කම්කරු උසාවියේ ප්‍රධානී ෂෙයික් මෙරිනා සුල්තානා පැවසුවේ ග්‍රාමීන් ටෙලිකොම් සේවකයන් 67 දෙනකුට ස්ථීර රැකියා තත්ත්වය ලබාදීමට අපේක්ෂා කර තිබුණ ද ඔවුන්ට සේවක සුබසාධන අරමුදල් නොමැති බවයි.

මීට අමතරව, සමාගම් ප්‍රතිපත්තියට අනුව සමාගමේ ලාභාංශවලින් සියයට 5ක් කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.

යුනුස් සහ හසීනා ප්‍රසිද්ධ ප්‍රකාශවලදී ගැටී ඇති අතර, හසීනා ඔහුට “දුප්පත් අයගෙන් ලේ උරා බොන” බවට චෝදනා කරයි.

ඔහුගේ ආධාරකරුවන් පවසන්නේ, රජය ඔහුව අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරන්නේ, ඔහු වරක් හසීනාගේ අවාමි ලීගයට ප්‍රතිවාදී ලෙස දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සළකා බැලූ නිසා වන අතර, මෙය දේශපාලන විසම්මුතිය මත රජය විසින් කරන ලද පුළුල් මර්දනයක කොටසක් බවයි.

හසීනාගේ අවාමි ලීගයට එරෙහිව යුනුස් “පුරවැසි බලය”නමින් ඔහුගේම දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ අදහසක් ඉස්මතු කර තිබිණි.

ඔහු තම නව පක්ෂය සමඟ දූෂණය අවසන් කරන බවට පොරොන්දු වූ නමුත් අවශ්‍ය තරම් සහාය නොමැති බව පවසමින් මාස කිහිපයක් ඇතුළත සැළසුම් අත්හැර දැමීය.

එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමෙන් පසු 1980 දශකයේ නැවත බංග්ලාදේශයට පැමිණි යුනුස් කම්කරු නීති උල්ලංඝනය කිරීම සහ දූෂණ චෝදනා ඇතුළු තවත් චෝදනා 100කට වැඩි ගණනකට මුහුණ දී සිටී.

මානව හිමිකම් ක්‍රියාකාරිකයන් සහ හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු ගෝලීය පුද්ගලයන් 170කට වැඩි පිරිසක් විවෘත ලිපියක් මගින් යුනුස්ගේ “පීඩා” නතර කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

වර්ජින් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන්, U2 ප්‍රධාන ගායක බොනෝ සහ හිටපු එක්සත් ජනපද හිටපු ජනාධිපති බරක් ඔබාමා ඇතුළු පුද්ගලයන් මෙම ලිපියට අත්සන් කර ඇති අතර නොබෙල් ත්‍යාගලාභියාගේ “අඛණ්ඩ අධිකරණ හිංසනයට” එරෙහිව ඔවුහු අදහස් පළකළහ.

මෙම තීන්දුව පැමිණෙන්නේ බංගලාදේශය ජනවාරි 07 වැනිදා මහ මැතිවරණයකට සූදානම් වෙමින් සිටින අතර හසීනා සිය පස්වැනි වාරය සඳහා තරඟ කරන අතරතුරයි.