January 4, 2025

බළලුන්ගේ සහ බල්ලන්ගේ සපාකෑමට ලක්වූවන් සඳහා බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී ප්‍රතිකාර ලබාදීම ඉහළයෑම සම්බන්ධයෙන් සත්ත්ව ගහණයේ මානුෂීය කළමනාකරණය සඳහා වන පශු වෛද්‍යවරුන්ගේ සංගමය අවධානය යොමුකර තිබේ.

එවැනි සිදුවීම්වලින් 95%ක්ම අයාලේ යන සතුන් නොව ගෘහාශ්‍රිත සුරතල් සතුන් සපාකෑමේ ප්‍රතිඵල බව එම සංගමය පවසයි.

බදුල්ල ශික්ෂණ රෝහලේ වාර්තා පෙන්වා දෙන්නේ, පසුගිය වසර තුළ බළලුන් හා බල්ලන් සපා කෑම හේතුවෙන් රෝගීන් 6700ක් හදිසි ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

එම සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශක වෛද්‍ය චමිත් නානායක්කාර අවධාරණය කර ඇත්තේ, අයාලේ යන සුනඛ ගහණය වැඩිවීම සතුන්ගේ සපාකෑම් වැඩිවීමට හේතුව බවට සාවද්‍ය මතයක් ඇති කරමින් වැරදි තොරතුරු ප්‍රචාරය වන බවයි.

“යථාර්ථය නම්, අප දකින සිද්ධීන්ගෙන් 95% ක් ගෘහස්ථ සිදුවීම්, ඒවා නිවෙස් තුළ සිදු වන සුනඛ සපාකෑම්,” ඔහු පැහැදිලි කරයි.

මෙරට මුළු සුනඛ ගහණයෙන් අයාලේ යන සුනඛයින් සිටින්නේ 3%ක් පමණක් බව ද ඔහු පැවසීය.

ඉන් 2% ක් වනාන්තර ආශ්‍රිතව වාසය කරන ඉතිරිය ගම්වල සහ නාගරික ප්‍රදේශවල වාසය කරති.

හිමිකරුවන් නොමැති සුනඛයන් සංඛ්‍යාව වාර්තා වන්නේ 1%ක් ලෙසයි.

මීට අමතරව, හිමිකරුවන් සිටින සුනඛයන්ගෙන් 10% ක් පමණක් එම සතුන්ව කූඩු, පටි හෝ සංවෘත අවකාශයන් මගින් සංචරණ සීමාකර ඇති බව වෛද්‍ය නානායක්කාර අවධාරණය කරයි.

ඊට හාත්පසින්ම වෙනස්ව, හිමිකරුවන් සිටින සුනඛයන්ගෙන් 79% ක් පමණ නිදහසේ සැරිසරන අතර, බොහෝ විට එම සතුන් ආපසු නිවසට පැමිණෙන්නේ කෑමට සහ නින්දට පමණක් බව ඔහු පවසයි.

42.31%
17.27%
32.76%