April 9, 2025

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන යටතේ ඊයේ (08) දින දිවයින පුරා ක්‍රියාත්මක වන සේල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් වැටළීම් සහ විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

අදාළ විමර්ශනවලදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතට අනුව වැරදි සිදුකරමින් සේල් පවත්වාගන යනු ලැබූ වෙළෙදුන් 36කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිලධාරීන් විසින් කටයුතු කර ඇත.

අදාළ වැටළීම්වලට ලක්වූ ව්‍යාපාරික ස්ථාන අතර ඇදුම් පැළදුම් හා විදුලි උපකරණ අලෙවිය සිදුකරන සේල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකර ඇති අතර, ඉදිරියේදී සිදුකරනු ලබන වැටළීම්වලදී ද ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

සේල් මගින් භාණ්ඩ අලෙවිකිරීමේ දී විදුලි උපකරණ සදහා ලබාදිය යුතු මාස 6ක වගකීම පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවත්,පාරිභෝගිකයන් නොමග යවන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවත් වෙළදුන් දැනුම්වත් කරන අතර, වෙළෙඳපොළේදී භාණ්ඩ මිලදීගැනීමේ දී සෑමවිටම කල්පනාකාරීව තෝරාගැනීම් සිදුකිරීමට කටයුතු කරන ලෙසත්, ගැටළුවක් ඇතිවුවහොත් අවශ්‍ය ඉදිරි කටයුතු සදහා අනිවාර්යයෙන්ම බිල්පතක් ඉල්ලා සිටින ලෙසත් පාරිභෝගිකයන් දැනුවත් කරනු ලැබේ.

වෙළෙඳපොළේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිරන්තරයෙන් විමර්ශන, වැටළීම් මෙන්ම වෙළදුන් සහ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සදහා ද විශේෂ වැඩසටහන් අඛණ්ඩවම තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.