March 16, 2024

සිසුන් අතර ඊ-සිගරට්(විද්‍යුත්) බෙදාහැරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව කැකිරාව සහ අනුරාධපුර ප්‍රදේශවලදී සැකකරුවන් කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රංජිත් වික්‍රමසිංහ අනාවරණය කරයි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමට සහ ශිෂ්‍ය ප්‍රජාව අතර ඊ-සිගරට් පැතිරීම සීමාකිරීමට උත්සාහයන් තීව්‍ර කරමින් සිටී.

ජාඇල ප්‍රදේශයේ පසුගිය සතියේ රුපියල් මිලියන 500ක වටිනාකමකින් යුත් ඊ-සිගරට් විශාල තොගයක් අත්අඩංගුවට ගැනීමක් මත මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇති අතර, එහිදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම ඊ-සිගරට් තොගය රාජසන්තක කරන ලදී.

ඉතා සූක්ෂ්ම ලෙස සුවඳ විලවුන් බෝතල් සහ ස්මාර්ට් ඔරලෝසු ලෙස මෙම ඊ-සිගරට් නිෂ්පාදනය කර ඇති අතර, ඒවා හඳුනාගැනීම සුපරීක්ෂාකාරී බලධාරීන්ට පවා අභියෝගයක් වන පැවැසේ.

පළතුරු, සහ පැණි බීම වැනි විවිධ රසවලින්ද ලබා ගත හැකි මෙම නිෂ්පාදන, සාම්ප්‍රදායික දුම්පාන නිෂ්පාදනවලට සමානකමක් නොදක්වන අතර පැහැදිලි ගන්ධයක්ද නොමැත.

වයස අවුරුදු 18ට අඩු බාලවයස්කරුවන්ට ඊ-සිගරට් අලෙවි කිරීමේ නීතිමය ප්‍රතිවිපාක පිළිබඳව පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර ඇත්තේ, එය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙසයි.

 

42.31%
17.27%
32.76%