January 8, 2024

ඕස්ට්‍රේලියාවේ සිට හොංකොං වෙත ස්වදේශික කටුස්සන් සිය ගණනක් නීතිවිරෝධී ලෙස අපනයනය කිරීමට කර තිබූ සැලසුමක් වැළැක්වීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් සමත් වී තිබේ.

නිව් සවුත් වේල්ස් පොලිසියට අනුව මෙම උරගයන්ගේ ඇස්තමේන්තුගත වෙළඳපොළ වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.2ක් නැතහොත් අමෙරිකානු ඩොලර් 805,000ක් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිඩ්නි නුවරදී පිරිමි තිදෙනෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

කටුස්සන් 257ක් සහ සර්පයන් තිදෙනෙකු හානිකර අයුරින් තබාගෙන සිටි බවට වන චෝදනා යටතේ පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සතුන්ට ප්‍රතිකාර කර නැවත වනයට මුදාහැර ඇත.

හොංකොං වෙත යොමුකර තිබූ කුඩා කන්ටේනර් නවයක සජීවී කටුස්සන් 59 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු සැප්තැම්බර් මාසයේදී ජාවාරම්කරුවන් යැයි කියනු ලබන අය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලිසිය කාර්ය සාධක බලකායක් පිහිටුවීය.

එහි නිලධාරීන් පසුගිය සති කිහිපය තුළ නිව් සවුත් වේල්ස්හි වැටලීම් මාලාවක් සිදුකර තිබේ.

සිඩ්නි නුවර එක් නිවසකදී කටුස්සන් 118ක්, සර්පයන් තිදෙනෙක්, බිත්තර අටක් සහ මියගිය කටුස්සන් 25ක් සොයාගෙන ගෙන ඇත.

ග්‍රෙන්ෆෙල් ග්‍රාමීය ප්‍රදේශයේ දේපළක් සෝදිසි කිරීමේදී බෑග්වල සඟවා සිටි කටුස්සන් හතර දෙනෙකු සොයා ගන්නා ලදී.

වයස අවුරුදු 31ත් 59ත් අතර වයස්වල පසුවන සැකකරුවන් සිව්දෙනාට දේශීය උරගයන් අපනයනය කිරීම, අපරාධවලින් ලැබෙන ආදායම සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ අපරාධ කණ්ඩායමකට සහභාගී වීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

චෝදනා සඳහා මොවුන් වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසර 15ක සිරදඬුවමක් හිමිවේ.

සති අන්තයේ අධිකරණයේ පෙනී සිටීමෙන් පසු සැකකරුවන් දෙදෙනෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප විය.

ස්වභාවධර්මය සඳහා වූ ලෝක ව්‍යාප්ත අරමුදලට අනුව මෑත දශක කිහිපය තුළ හොංකොං විදේශීය සතුන් සම්බන්ධ අන්තර්ජාතික වෙළඳාමේ ආධිපත්‍යය දක්වා වර්ධනය වී ඇත.

2021 දී, ADM Capital Foundation විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ වසර පහක් පුරා අවම වශයෙන් රටවල් 84කින් සජීවී සතුන් මිලියන හතරක් හොංකොං වෙත ආනයනය කර ඇති බවයි.

42.31%
17.27%
32.76%