56.8%
18.59%
20%
August 20, 2024

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදාළ සංචාරක උපදේශනය 2 වැනි මට්ටමේ ඇම්බර් වර්ණ අනතුරු ඇඟවීමක් දක්වා යාවත්කාලීන කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබේ.

2 වැනි මට්ටමේ ඇම්බර් වර්ණ අනතුරු ඇඟවීම මගින් කියැවෙන්නේ ශ්‍රී ලංකාවට ගමන් කිරීමේදී ප්‍රවේශම් විය යුතු බවට තම ජාතිකයන්ට උපදෙස් දීමයි

සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් මැතිවරණයට පෙර සහ පසුව රට පුරා මහජන පෙළපාළි පැවැත්විය හැකි සහ ඒවා ප්‍රචණ්ඩකාරී විය හැකි බව උපදේශනයේ සඳහන් කර තිබේ.

පෙළපාළි පැවැත්වෙන ප්‍රදේශවලින් වැළකී සිටින ලෙස ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට එරට රජය නිර්දේශ කර ඇත.

පෙළපාළි නිසා ගමනාගමනයට සහ පොදු ප්‍රවාහනයට බාධා ඇති විය හැකි බවත් පළාත් පාලන ආයතනවල උපදෙස් සහ තොරතුරු සඳහා මාධ්‍ය අධීක්ෂණය කරන ලෙසත් ඔවුන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

විරෝධතා සහ විශාල රැස්වීම් පැවැත්වෙන ස්ථාන මගහරින ලෙස ද ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට එරට රජය නිර්දේශ කරයි.

ශ්‍රී ලංකාව eVisa අයදුම් කිරීමේ ක්‍රමය තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් රටට ශ්‍රී ලංකාවට පැමිණීමේදී වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතු බවට එරට රජය ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට සිහිගන්වා තිබේ.

කෙසේවෙතත් 2024 අගෝස්තු 2 වැනිදාට පෙර නිකුත් කරන ලද සියලුම eVisas ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා වලංගු වනු ඇත.

මීට අමතරව ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ත්‍රස්තවාදී ප්‍රහාරවල අවදානම ද අවධාරණය කර ඇති අතර විශේෂයෙන් ඔවුන් විදේශිකයන් සහ/හෝ සංචාරකයන් පැමිණෙන ප්‍රදේශ ඉලක්ක කළ හැකි බව සඳහන් කර තිබේ.

කොළඹ වෛද්‍ය සේවා ඕස්ට්‍රේලියානු ප්‍රමිතීන්ට වඩා අඩු බවත් අගනුවරෙන් පිටත වෛද්‍ය සේවා අතිශයින් සීමිත බවත් එහි සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පවතින ඩෙංගු උණ අවදානම සම්බන්ධයෙන් ද එරට රජය ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට අනතුරු අඟවා ඇත.

56.8%
18.59%
20%