April 12, 2024

රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ ATM කාඩ්පත ලබාගෙන ගනුදෙනුකරුට හොරෙන් ඔහුගේ ගිණුමේ තිබූ මුදල් ලබාගත් පුද්ගලයෙකු හැටන් පොලිසියේ ආපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පෙරේදා (10) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හැටන් දික්ඔය ඇන්ෆීල්ඩ් වතුයායේ පදිංචි අවු 27 හැවිරිදි අයකු බවත්, සැකකරු රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නිවාඩු දිනවල සහ බැංකු වසාදැමීමෙන් අනතුරුව එම බැංකුවල ATM යන්ත්‍ර වෙත පැමිණ එම යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමට නොහැකි වන ගනුදෙනුකරුවන්ට මුදල් ලබාගැනීමට උපකාර කරන මුවාවෙන් ගනුදෙනුකරුගේ කාඩ්පත සහ රහස්‍ය අංකය ලබාගෙන පසුව ඔහු ගනුදෙනුකරු වෙත වෙනත් ATM කාඩ්පතක් ලබාදීම සිදුකර ඇති බව හැටන් පොලිසියේ ආපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් කරන ලද මූලික විමර්ශනයේදි අනාවරණය වී ඇත.

සැකකරු ලබාදුන් කාඩ්පත භාවිත කර ATM යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමට නොහැකි වු ගනුදෙනුකරු එම ස්ථානයෙන් පිටව ගිය පසු සැකකරු එම ගනුදෙනුකරුගේ බැංකු ගිණුමේ ඉතිරිව තිබූ මුදල් අවස්ථා කිහිපයකදී ලබාගෙන ඇත.

සැකකරු හැටන්, කොටගල, තලවකැලේ, ලිදුල සහ ආගරපතන යන ප්‍රදේශවල මෙවැනි ආකාරයට ATM යන්ත්‍රවලින් වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ වෙනත් ගනුදෙනුකරුවන්ගේ ATM කාඩ්පත් කිහිපයක් තිබී ඇති බවත් පොලිසිය කියයි.

සැකකරු වතු කම්කරුවන් ඉලක්ක කර ගනිමින් මෙම වංචාව සිදු කර ඇති බවත්, සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසිය මඟින් මීට ප්‍රථම මෙවැනි ආකාරයට මුදල් ලබාගැනීම් සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු වරද පිළිගෙන ඇති බවත්, ඔහුට දඬුවම් ලබාදීමට නියමිත වී සිටින චුදිතයෙකු බවත් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරිහු පවසති.

පසුගිය දින කිහිපය තුළ හැටන් ප්‍රදේශයේ ATM කාඩ්පත්වලින් වංචනික ලෙස මුදල් ලබාගැනීම් පිළිබඳව ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනයක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසියේ ආපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමත්වී ඇත.(දිනමිණ)

42.31%
17.27%
32.76%