July 11, 2024

පොහොර ගෙන්වීම නැවැත්වීම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ නොමනා තීරණයක් බව අපේ ජනබලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළහ.

“වස විස නැති රටක්” වැඩසටහන ප්‍රවර්ධනය කළ නිසා පසුව එම තීරණය සම්බන්ධයෙන් දෝෂාරෝපණ තමන්ට ආරෝපණය කර තමන්ව බිල්ලන් බවට පත්කළ බවද රතන හිමියෝ එහිදී පැවසූහ.

මෙම අදූරදර්ශී තීරණය ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව, එහි කැබිනට් මණ්ඩලය සහ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ 45 දෙනෙකු විසින් බව ද රතන හිමියෝ එහිදී පෙන්වාදුන්හ.

එළවලු මිල ඉහළ යෑම සහ මන්දපෝෂණය සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රතන හිමියන් නැගූ ප්‍රශ්න මාලාවකට අගමැතිවරයා වෙනුවෙන් පිළිතුරු ලබාදුන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සමඟ කළ හරස් සංවාදයකදී රතන හිමියෝ මෙම අදහස් පැවසූහ.

විවිධ ආයතනවල වාර්තාවලට අනුව ග්‍රාමීය පාසල්වල සියයට 50ක පාසල් හැර යෑමක් සිදුව ඇත්තේ දරුවන්ට කෑම බීම නැති නිසා බවද රතන හිමියෝ පැවසූහ.

ඇමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියාසිටියේ, කොවිඩ් 19 වසංගතයේ බලපෑම, අරගල විරෝධතා සහ පොහොර ආනයනය නතර කිරීමට ගත් තීරණයත් සමඟ කෘෂිකර්මාන්තය කඩාවැටීම හේතුවෙන් එළවළු සහ ආහාර මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගිය බවයි.

“ඒක එදා ඔබතුමාගේ ආණ්ඩුව ගත්ත වල් බූරු තීරණයක්. ඒ චෝදනා අපට ආරෝපණය කළා. එයට අප සම්බන්ධ වූයේ අප “වස විසෙන් තොර රටක්” යන මතවාදය ප්‍රවර්ධනය කළ බැවින්. 2017 ඉඳන් 2019 වෙනකම් අපි ඒ විදියටම වැඩ කළා මිසක් පොහොර ගෙන්වීම නවත්වන්න කියලා අපි කිව්වේ නැහැ කියලා ඇමැතිතුමා විදියට ඔබ දන්නවා. ඒ ආණ්ඩුවට පොහොර දෙන්න සල්ලි නැති නිසා තමයි ඒ තීරණය ගත්තේ” රතන හිමියෝ පැවසූහ.

එහිදී ඇමැතිවරයා කියාසිටියේ තමන් කෘෂිකර්ම අමාත්‍යාංශය භාර ගන්නා අවස්ථාවේ ගොවීන් සිටියේ කුඹුරේ නොව මහමග උද්ඝෝෂණ කරමින් බවයි.

“සමහරු අනාවැකි කිව්වා හාල් කිලෝවක් රුපියල් 500-600 දක්වා වැඩිවෙයි කියලා. අපි කොහොම හරි රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්කළා. අපිට තව වැඩකරන්න ඕන. ධාන්‍ය සඳහා කන්න තුනක වගා ක්‍රමයක් හඳුන්වා දීමට අපි සැලසුම් කරනවා.” යනුවෙන් ඇමැතිවරයා පැවසීය.

42.31%
17.27%
32.76%