June 26, 2023

සාමාන්‍ය ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජය ‘අස්වැසුම’ නමින් ඇස් බැන්දුමක් හඳුන්වා දී ඇති බවත්, වසර තුනකින් එම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන්නේ ලක්ෂ 12 ක ජනතාවක් පමණක් බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ ඔහුගේ රජය ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක‍්‍රමය හරහා රට රවටා ඇතැයි ද ඔහු චෝදනා කර තිබේ.

ලක්ෂ 70ක් දුප්පතුන් සිටින විට ලක්ෂ 12කට පමණක් සහනාධාර ලබාදීමේ අරමුණ ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන අතරම, එම ලක්ෂ 12ක ජනතාව තෝරා ගැනීමේදී අනුගමනය කර ඇති නිර්ණායක පිළිබඳවද රජයෙන් දැන ගැනීමට කැමැති බවද ඔහු සඳහන් කරයි.

සියයට 14ක මට්ටමේ පැවති දරිද්‍රතා මට්ටම මේ වන විට සියයට 31 දක්වා ඉහළ ගොස් ඇති අතර, රටේ සමස්ත දරිද්‍රතා මට්ටම මිලියන 7 ඉක්මවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මෙසේ සඳහන් කර ඇත.

මේ වනවිට ඇති රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය ශ්‍රී ලංකාව ඉතා බරපතළ සෞඛ්‍ය ඛේදවාචකයකට ඇද දමමින් සිටින බවට චෝදනා කරන විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඖෂධ හිඟය, ඖෂධ මිල අධික ලෙස ඉහළ යෑම, වෛද්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වංචා සහ දූෂිත ක්‍රියාවන් පිළිබඳව සමීපව බැලීමේදී පෙනී යන්නේ රජය සමස්තයක් ලෙස රෝගීන්ගේ ජීවිත සමඟ පවා සෙල්ලම් කරමින් සිටින බවයි.

රට මුහුණ දී සිටින සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට මුලින්ම කළ යුත්තේ සමීක්ෂණයක් පැවැත්වීම බවත්, ඒ වෙනුවට ආණ්ඩුව තම ද්‍රෝහී ක්‍රීඩා මගින් මුළු රටම අනතුරකට තල්ලු කර ඇති බවත්, විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අත්තනෝමතික ලෙස පොහොර ගෙන්වීම තහනම් කරමින් මුළු රටම සාගතයකට තල්ලු කළ බවත්, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවද මුළු රටම රවටා රටේ ජනතාව මරණ මංචකයට ඇද දමමින් සිටින බවත්, ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන රටට තීරණාත්මක සාකච්ඡාවලදී පවා ආණ්ඩුව කර ඇත්තේ රටේ යහපත උදෙසා කටයුතු කිරීමට වඩා තම පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා පමණක් බව ද ඔහු පවසයි.

මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ අන් කිසිවක් නොව අවස්ථාවාදී ආණ්ඩුවක අදූරදර්ශී අත්තනෝමතික ක්‍රියාවලියක් බවට චෝදනා කරන ඔහු මෙම තත්ත්වය වෙනස් කර ජනතාවාදී දැක්මකින් රට ගොඩනැගිය හැක්කේ නව ජනවරමක් තුළින් පමණක් වන බවත්, එය සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට හැකි සෑම බලපෑමක්ම කරන බවත්, අවධාරණය කර ඇත.