November 28, 2024

අම්පාර – කරෙයිතිව් ප්‍රදේශයේදී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරෙන් පසු අතුරුදන්ව සිටි බව කියවුණු ට්‍රැක්ටර් රථ රියදුරුගේ සහයකයා කාරතිව් පොලිස් ස්ථානයට භාරවී තිබේ.

අද (28) පෙරවරුවේ පොලිස් ස්ථානයට පැමිණි ඔහුව, ගංවතුර තත්ත්වය අතරතුර ආරක්ෂක අංශවල අනතුරු ඇඟවීම් නොතකා මුදල් වාසි තකා නීතිවිරෝධී ලෙස ට්‍රැක්ටරයකින් මගීන් ප්‍රවාහනය කරමින් ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කරෙයිතිව් පොලිසිය පවසයි.

මේ අතර අනතුරට මුහුණ පෑ පාසල් සිසුන් සිව් දෙනෙකුගේ, තවත් මගියකුගේ සහ ට්‍රැක්ටර් රථ රියදුරුගේ සිරුරු ගොඩගෙන තිබේ.

කෙසේවෙතත්, සිසුන් දෙදෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර, අයහපත් කාලගුණයත් සමඟ වවුනියාව මහකච්චකොඩිය වැවෙන් ජලය පිටාර ගලන අයුරු නිරීක්ෂණය කරමින් සිටි පුද්ගලයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ත්‍රිකුණාමලය යාන්ඔය ගඟේ මසුන් ඇල්ලීමට ගිය බෝට්ටුවක් පෙරළීමෙන් තවත් පුද්ගලයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබිණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජනක හඳුන්පතිරාජ අවධාරණය කළේ, අනතුරුදායක තත්ත්වයන් තුළ ජනතාව ආරක්‍ෂිත පියවර නොසළකා හැරීම හේතුවෙන් ආපදා ආශ්‍රිත මරණ රැසක් සිදු වූ බවයි.

 

42.31%
17.27%
32.76%