September 16, 2024

මත්පැන් පානය කර පුත්තලම කොළඹ මාර්ගයේ තම නිල රථය පදවාගෙන යමින් අනතුරක් සිදුකිරීම හේතුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු පුත්තලම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම කොට්ඨාසයේ අංක 2 සහකාර පොලිස් අධිකාරිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පුත්තලම කොට්ඨාසයේ රථවාහන අංශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මෙම අනතුර සිදුකර ඇත.

පුත්තලම – හලාවත මාර්ගයේ පාලවිය ප්‍රදේශයේදී ඉකුත් 14 වෙනිදා රාත්‍රී 10.00 ට පමණ අනතුර සිදුව තිබේ.

කොළඹ සිට අනුරාධපුර දක්වා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ගමන් කරමින් සිටි මෝටර් රථය සහ සහකාර පොලිස් අධිකාරීවරයා පදවමින් සිටි මෝටර් රථය එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් කිසිවකුට තුවාල සිදුව නැති අතර මෝටර් රථ දෙකට පමණක් සුළු හානි සිදුව ඇති බව පොලිසිය කියයි.

වාහන දෙක තම භාරයට ගෙන ඇති පුත්තලම පොලිසියේ නිලධාරීන් රාජ්‍ය ඇමැතිවරයාව වෙනත් වාහනයකින් පිටත් කර යවා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරිවරයා මත්පැන් පානය කර සිට ඇති බව අනාවරණය වීම නිසා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.(දිවයින)