November 4, 2023

ඔන්ලයින් ක්‍රමයට සිදුකරන ඇණවුම්වලදී ලැබෙන වැරදි ඇණවුම් හෝ අනවශ්‍ය ප්‍රමාදයන් අපට නුහුරු අත්දැකීමක් නොවේ.

එහෙත් එක්සත් ජනපදයෙන් වාර්තා වන මෙම පුවත ඔබ අප කවුරුත් සතුරකුට පවා සිදුවිය යුතු යැයි පතන්නක් නොවේ.

ඌටාහ් ප්‍රාන්තයේ සරටෝගා ස්ප්‍රින්ග්ස්හි වාසය කරන කැලේබ් වුඩ් පසුගිය දිනක ශීතල මිල්ක්ෂේක් බීමක් රසවිඳීමේ අරමුණින් එය ඇණවුම් කර තිබුණේ ඔන්ලයින් යෙදවුමක් හරහායි.

ඉතා ඉවසිලිවන්තව ඒ වෙනුවෙන් බලාසිටි ඔහු වෙත අවසානයේ ඇණවුම පැමිණ තිබිණි.

තමන් බලාපොරොත්තු වූ රසවත් පානයේ පහස විඳින්නට දෙවරක් නොසිතූ ඔහු කඩිනමින් එක් බීම උගුරක් සිය මුව වෙත ඇද ගත්තේය.

සිදුව තිබුණේ ඔහු සිහිනෙන්වත් නොසිතූ දෙයකි.

ශීතල රසවත් මිල්ක්ෂේක් උගුරක් වෙනුවට තමා කටට ගෙන ඇත්තේ උණුසුම් මුත්‍රා කෝප්පයකින් උගුරක් බව වැටහෙන්නට ඔහුට වැඩි වේලාවක් ගතවූයේ නැත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එසැණින්ම ඔහු නැවතත් බෙදාහැරීමේ නියෝජිතයා වහා කැඳවා ඇති බවයි.

බෙදාහැරීමේ රියදුරා නැවත ඔහුගේ නිවසට කැඳවූ කැලේබ් ඔහුගෙන් විමසා ඇත්තේ “මේ මුත්‍රා බව ඔබටත් තේරෙනවා නේද ?” යනුවෙන්.

අදාළ බෙදාහැරීමේ රියදුරා ඔහු අතින් සිදුවී ඇති දරුණු වැරැද්ද පිළිගෙන තිබිණි.

දැනට වාර්තා වන තොරතුරු අනුව ඔහුගේ වාහනයේ මෙවැනි කෝප්ප දෙකක් තිබී ඇත.

ඔහුගේ දිගු සේවාමුර හේතුවෙන් එක් කෝප්පයක් ඔහු යෝදාගෙන තිබුණේ ගමන් අතරතුර තමාට එන මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවකට සහනයක් ලෙසිනි.

එහෙත්, බෙදා හැරීම සිදුකරන අතරතුර, ඔහු මෝටර් රථයෙන් වැරදි කෝප්පය ලබාගෙන තිබිණි.

මුත්‍රා පානය කිරීමේ බිහිසුණු සිදුවීමෙන් කැලේබ් අසනීප වී තිබිණි.

එම නිසා සිය සමාගමෙන් සිදුව තිබූ වැරැද්ද පිළිබඳ අදාළ සමාගම වෙත වාර්තා වී තිබුණේ දින හතරකට පමණ පසුවය.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර දැඩි පිළිකුලටත් දැඩි කතාබහටත් ලක්ව තිබිණි.

චිකාගෝහි පිහිටි අදාළ සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගෙන කිසිසේත් අනුමත කළ නොහැකි එම වරදට සමාව අයැද තිබේ.

ඔවුන් කියාසිටින්නේ සමාගම සමඟ ඇති ගිවිසුම අවසන් කිරීමෙන් රියදුරුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

කෙසේවෙතත් කැලේබ් කියා සිටින්නේ මෙම සිද්ධියේදී සමාගම ඔහුට ආපසු ගෙවූයේ ඇණවුමේ සැබෑ පිරිවැය වූ ඩොලර් 18 පමණක් බවයි.

බෙදාහැරීමේ ගාස්තුව සහ ඔහු රියදුරුට ගෙවූ සංතෝසම ඔහුට ආපසු ලැබී නැත