September 2, 2023

කාසියේ වාසිය දිනූ ඉන්දියාව, වළාකුළු පිරි අහස සහ වර්ෂාවේ තර්ජනය නොතකා ප්‍රතිවාදී පාකිස්තානයට එරෙහිව පන්දුවට පහර දීමට තීරණය කළේය.

බබාර් අසාම් පැවසුවේ කාසියේ වාසිය දිනුවේ නම් පාකිස්තානය ද පළමුව පන්දුවට පහර දීමට ඉඩ තිබූ බවයි.

ඉන්දියාව පස්වැනි පන්දුවාරයට මුහුණ දෙමින් සිටිය දී තරඟයට පළමුවරට වර්ෂාවෙන් බාධා එල්ල විය.

වර්ෂාවෙන් අනතුරුව මිනිත්තු 33ක පමාවකින් යළි ආරම්භ වීමෙන් පසු යොමුකළ සිව්වැනි පන්දුවේදීම නායක රෝහිත් ෂර්මා යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ෂහීන් ෂා අෆ්රිඩි කටයුතු කළේය.

විරාත් කෝලිට ද පල්ලෙකැලේ දී සුපුරුදු දස්කම් අතරට ඒමට ඉඩ නොදුන් ෂහීන් ෂා තමන් යැවූ ඊළඟ පන්දුවාරයේදීම ඔහුගේ කඩුල්ලද ඩැහැ ගත්තේය.

පළමු පවර් ප්ලේ අවස්ථාව තුළදීම ඉන්දියාවේ තුන්වැනි කඩුල්ලද බිඳ දැමීමට හරිස් රාවුෆ් සමත් වූයේ ශ්‍රෙයාස් අයියර්ගේ ඉනිම ලකුණු 14කට සීමා කරමිනි.

පස්වරු 4.35ට පමණ දෙවැනි වරටත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

යළි තරගය ආරම්භ වීමෙන් පසු ශුබ්මන් ගිල් දවා ගත් රාවුෆ් තරගයේ පාලනය මුලුමනින්ම පාකිස්තානය වෙත පවරා ගැනීමට සමත් විය.

ඒ වන විට ඉන්දීය ඉනිම කඩුලු හතරක් දැවී ලකුණු 66ක් ලෙසින් සටහන් වී තිබුණි.

නමුත් හර්දික් පාන්ඩ්‍යා සහ ඉෂාන් කිෂාන් එක්ව පීඩනය මැනවින් කලමනාකරණය කර ගනිමින් වේගයෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළේ පාකිස්තාන පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වෙමිනුයි.

ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල සඳහා පන්දු 141 කදී ලකුණු 138ක සබඳතාවක් ගොඩ නැඟූහ.

පාකිස්තාන දඟ පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ඔවුන් දෙදෙනාට පන්දු රකින්නන්ගෙන් ද අනගි සහයක් හිමි විය.

ඉන්දියාව පහසුවෙන්ම ලකුණු 300 සීමාව පසු කරන ලකුණු පෙනෙන්නට තිබුණි.

නමුත් ලකුණු 82ක් ලබා සිටි ඉෂාන් කිෂාන්ගේ කඩුල්ල දවා ගනිමින් පාකිස්තානයට යළි අවස්ථාවක් උදා කර ගැනීමට හරිස් රාවුෆ් සමත් විය.

44 වැනි පන්දුවාරයේදී හරිදික් පාන්ඩ්‍යා සහ රවීන්ද්‍ර ජඩේජා දවා ගනිමින් ෂහීන් ෂා පාකිස්තානය යළි තරගය වෙත රැගෙන ආවේය.

ඔහු සිය පන්දුවාර 10 නිම කළේ නිලකුණු පන්දුවාර 2ක් ද සමගින් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගනිමින්ය.

නෂීම් ෂා අවසන් කඩුලු තුන දවා ගනිමින් 49 වැනි පන්දුවාරය වන විට ලකුණු 266කට ඉන්දීය ඉනිම නිමා කළේය.