42.31%
17.27%
32.76%
September 22, 2023

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ පැතිරයන නීපා (Nipah) නමැති වෛරසය පිළිබඳ අවධානය යොමුකර ඇති නමුත්, ඉන් දැනට ශ්‍රී ලංකාවට කිසිදු තර්ජනයක් නොමැති බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කර ඇත්තේ, 1998 වසරේ මැලේසියාවෙන් නිපා වෛරසය ප්‍රථමයෙන් ම අනාවරණය වූ බැවින් මෙය අලුත් තත්වයක් නොවන බවයි.

“පෙර අවස්ථාවලදී, මෙම වෛරසය කිසිදු විශාල බලපෑමක් ඇති කළේ නැහැ. එය ආරම්භ වූ අවස්ථාවෙන් පසු බංග්ලාදේශය, ඉන්දියාව සහ පිලිපීනය වැනි රටවලින් ද වාර්තා වුණා. බංග්ලාදේශයේ 2001 සහ 2013 අතර වාර්ෂිකව පැතිරී ගිය අතර, මෙය පළතුරු වවුලන්ගෙන් ආරම්භ වී ඇතැයි සැළකෙනවා” යැයි වෛද්‍ය ගිනිගේ පැහැදිලි කරයි.

“කෙසේවෙතත්, ශ්‍රී ලංකාව වෛරසයේ නව වර්ධනයන් පිළිබඳව විමසිල්ලෙන් පසුවෙනවා” ලෙස ද ඔහු පවසයි.

මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ඌරු ගොවීන් අතර වෛරසයක් පැතිර යෑමෙන් පසුව, 1998 දී පළමුවෙන්ම නීපා වයිරසය හදුනාගෙන ඇති අතර එය නම්කර ඇත්තේ එය පළමුවෙන් වාර්තා වූ ගම්මානයේ නමිනි.

සන්ෂයින් කෝස්ට් විශ්ව විද්‍යාලයේ අණුක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ජොආන් මැක්ඩොනල්ඩ් පවසා ඇත්තේ, “වවුලන් වෛරසයේ ස්වභාවික වාහකයන් වන අතර, ඔවුන්ට මුත්‍රා කිරීමට හා පළතුරු අපවිත්‍ර කිරීමට හැකි අතර, මිනිසුන් ඒවා ආහාරයට ගන්නා විට වෛරසය වැළඳී රෝගී වේ” යනුවෙනි.

නීපා වෛරසයේ රෝග ලක්ෂණ, රෝගයට නිරාවරණය වී දින 04ත් 14ත් අතර කාලයක දී වර්ධනය විය හැක. වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතාව සහ වමනයයි. දරුණු අවස්ථාවල දී (එන්සෙෆලයිටිස්) මොළයේ දැවිල්ල සහ කෝමා තත්ත්වයට දරුණු වීමට ද හැකි බව සදහන් වේ.

මෙම වෛරසය මිනිසුන්ට සහ අනෙකුත් සතුන්ට ආසාදනය විය හැකි අතර, මූලික වශයෙන් වවුලන්ගේ මුත්‍රා, කෙළ හෝ අසූචි මගින් වැළදිය හැක. පුද්ගලයකුගෙන් පුද්ගලයෙක්ට සම්ප්‍රේෂණය සිදුවන්නේ රෝගීන්ගෙන් හා ඔවුන්ගේ ශරීර‍යෙන් ස්‍රාවයන් වන මුත්‍රා, රුධිරය සහ නාසයෙන් හෝ ආශ්වාස ප්‍රශ්වාසයේ දී පිටවන බිදිති ශරීරවල තැවැරීමෙන් බව සදහන් වේ.

“මෙයට එකම ප්‍රතිකාරය වන්නේ, විවේකය, සජලනය සහ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමයි.” විද්‍යාඥයන් බිය වන්නේ විකෘති වූ, අධික ලෙස සම්ප්‍රේෂණය කළ හැකි විකෘතියක් වවුලන්ගෙන් මතුවේ යන අදහස නිසාවෙනි.

මේ වන විට කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවූ නීපා වෛරසය නැවැත්වීම සඳහා ඉන්දීය බලධාරීන් මහා පරිමාණයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මහජන රැස්වීම් සීමාකර ඇතැම් පාසල් පසුගිය සතියේ වසාදැමූ බව නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වෛරසයේ මරණ අනුපාතය 40-75% අතර වේ. එයට තවමත් නිශ්චිත එන්නතක් නොමැති අතර සාමාන්‍ය ප්‍රතිකාර ලෙස ආදේශ රෝගවල ප්‍රතිකාර ලබාදීම සිදු වේ.

මෙම වෛරස ආසාදිත වවුලන් සහ ඌරන්ගේ ශරීර තරල සමඟ ගැටීමෙන් එය මිනිසුන්ට කෙළින්ම ආසාදනය විය හැකි අතර, මිනිසුන් අතර සම්ප්‍රේෂණය වන අවස්ථා ද පවතී.

1998 දී පළමු Nipah මැලේසියාවේ 300 කට ආසන්න පිරිසකට ආසාදනය වූ අතර, 100 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. වෛරසය පාලනය කිරීමේ උත්සාහයක් ලෙස ඌරන් මිලියනයක් මරා දැමීමට ද එහිදී කටයුතු කෙරිණි.

2018 වසරෙන් පසු මෙම කලාපයේ ඇති වූ සිව්වන බලපෑම මෙය වේ. 2001 සිට 100 කට වැඩි පිරිසක් නීපා වෛරසයෙන් මිය ගිය අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව 1998 සිට 2015 දක්වා කාලය තුළ නීපා වෛරසයෙන් මිනිස් ආසාදන 600 කට වඩා වාර්තා වී ඇත.

42.31%
17.27%
32.76%