September 11, 2024

කොච්චිකඩේ ප්‍රදේශයේ කාන්තාවක ඕස්ට්‍රේලියාවේ රැකියාවක් සඳහා යවන බව කියමින් එම කාන්තාවගෙන් රුපියල් විසිනව ලක්ෂ පනස්දහසක මුදලක් වංචනික ලෙස ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති නාගරික සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම වංචාවට සම්බන්ධව බව කියන රාජ්‍ය ඇමැතිවරයාගේ ලේකම්වරයකු යැයි කියාගත් පුද්ගලයකු ඉකුත් අගෝස්තු 01 වැනිදා මීගමුව කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මීගමුව කොට්ඨාස අපරාධ ඒකකය වෙත පෙරේදා කැඳවා තිබූ අතර මේ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ද ලබාගන්නා ලදී.

එහිදී මෙම මුදල් තමන් ලබාගත් බවට රාජ්‍ය ඇමැතිවරයා පිළිගෙන ඇත.

පැමිණිලිකාර කාන්තාව ඕස්ට්‍රේලියාවට යැවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට එම මුදල් වියදම් කළ බව පවසා ඇත.

අදාළ ආයතන වලින් එම මුදල් නැවත ලබාගැනීමෙන් පසුව ඒවා පැමිණිලිකාර කාන්තාව වෙත ලබාදෙන බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි අලී යැයි කියාගත් පුද්ගලයකුගේ මාර්ගයෙන් 30 හැවිරිදි මෙම කාන්තාව රුපියල් විසිනව ලක්ෂ පනස්දහසක මුදලක් ලබාදී ඇත්තේ ඕස්ට්‍රේලියාව බලා යෑම සඳහාය.

රාජ්‍ය ඇමැතිවරයා තමාගේ ළඟම හිතවතකු බව පවසා අලී නමැත්තා මෙම මුදල් ගනුදෙනුව පිළිබඳව අතරමැදියකු ලෙස කටයුතු කර ඇති බව විමර්ශන වලින් හෙළි වී ඇත.

එම කාන්තාව අවස්ථා කීපයක දීම රාජ්‍ය ඇමැතිවරයා මුණගැසී මෙම ඕස්ට්‍රේලියා ගමන ගැන සාකච්ඡා කර තිබේ.

අවස්ථා දෙකකදී මෙම කාන්තාව රාජ්‍ය ඇමැතිවරයාගේ සහ ඔහුගේ ලේකම් යැයි කියාගත් පුද්ගලයාගේ බැංකු ගිණුම් වලට මුදල් බැර කර ඇති බව විමර්ශන වලින් හෙළි වී ඇත.

ඉකුත් ජනවාරි මාසයේ මෙම කාත්තාව ඕස්ට්‍රේලියාවට යෑමට සූදානම් වන ලෙස දන්වා ඇති අතර ඇය ඒ සඳහා  සූදානමින් ගුවන්තොටුපොළ වෙතට පවා ගොස් තිබිණි.

එහිදී සංවිධානාත්මක පිරිස පවසා ඇත්තේ වීසා ලබාගැනීමේ ගැටලුවක් නිසා ඕස්ට්‍රේලියා ගමන ප්‍රමාද වන බවයි.

ඉන්පසුව මෙම කාන්තාව දිගින් දිගටම රවටමින් කටයුතු කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් මෙම කාන්තාව කොච්චිකඩේ පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 26 වැනිදාය.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කළ අතර රාජ්‍ය ඇමැතිවරයාගේ සහ ලේකම් යැයි කියාගත් පුද්ගලයාගේ බැංකු ගිණුම් වලට මුදල් බැර කිරීම පිළිබඳව සියලු තොරතුරු අනාවරණය කර ගන්නා ලදී.

මෙම කාන්තාවගේ මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මීගමුව කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය කටයුතු කරමින් සිටියි.

” ඕක කළේ ලේකම් කෙනෙකු නොවෙයි. ඕකට සම්බන්ධ මගේ පියන් කෙනෙක්. දැන් ඒක නිත්‍යානුකූලව විසඳලා ඉවරයි.” අදාළ චෝදනාව එල්ලවී ඇති රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ‘දිවයින’ පුවත්පත කළ විමසීමකදී පවසා ඇත.