September 14, 2024

අධිකරණය හමුවේ පෙනීනොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව වැඩ ආවරණ මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (12දා) වරෙන්තු නිකුත් කළේය.

2018 වසරේ පැවැති විරෝධතා ව්‍යාපාරයකදී නීතිඥ මේජර් අජිත් ප්‍රසන්නට අතින් පයින් පහරදී සුළු තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ කොල්ලුපිටිය පොලිසිය විසින් පවරා තිබූ නඩුව ඊයේ කැඳවිණි.

එම නඩුවේ එක් සැකකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මේ වන විට මියගොස් ඇති බැවින් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කොට සමථයක් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බව පෙර නඩු දිනයේදී සැකකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ අනුව සමථය වාර්තා කිරීම සඳහා ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු හෝ ඔහුගේ ඇපකරු අධිකරණය හමුවේ පෙනීනොසිටීම කෙරෙහි අවධානය යොමුකළ වැඩ ආවරණ මහෙස්ත්‍රාත්වරයා ලබන නොවැම්බර් 18 වැනිදා දක්වා නඩුව කල් තබමින් එම නියෝගය කළේය.

සැකකාර මන්ත්‍රීවරයා වෛද්‍යවරයකු මගින් වෛද්‍ය වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.