September 12, 2024

ඉදිරි ජනාධිපතිවරණයට පෙර රට තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමේ සැලසුමක් පවතින බව පවසමින් වෛරී ප්‍රකාශයක් කළ බව කියන යූටියුබ් පරිශීලකයකුට එරෙහිව හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දික මහතන්තිල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

බ්‍රිගේඩියර් මහතන්තිල විසින් ඊයේ (11) මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර තහවුරු කර ඇත.

ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ යූ ටියුබ් වීඩියෝ පටය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසයි.

විදෙස්ගතව සිටින අජිත් ධර්මපාල නැමැත්තා විසින් නිර්මාණය කර ඇති බවට වාර්තා වන අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ සැප්තැම්බර් 21 වැනිදායින් පසු හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් 200ක් යොදවා රට තුළ කැළඹීමක් ඇති කරන බවයි.

දේශපාලන අරමුණු සඳහා හමුදාවේ චිත්ත ධෛර්යය සහ සඵලතාව බිඳ දැමීමේ අරමුණින් ව්‍යාජ තොරතුරු පතුරුවා හරින බවට අධ්‍යක්ෂවරයා සිය පැමිණිල්ලෙන් චෝදනා කර ඇත.

මෙම ප්‍රකාශයන් නොසන්සුන්තාව අවුළුවාලීමට සහ බුද්ධි අංශ වෙත අනවශ්‍ය දොස් පැවරීමට දරන උත්සාහයක් බවට ද ඔහු පැමිණිලි කර තිබේ.

මෙවැනි අසත්‍ය ප්‍රකාශයන් තමාට සහ පවුලේ අයගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ද ඔහු කණස්සල්ල පළ කළ බවද වාර්තා වේ.