October 13, 2024

පසුගිය ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහාය දුන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, ඉදිරි කාලය තුළ පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ හේතුව නිසා රණතුංග ලබන මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගය යටතේ තරග නොකිරීමට තීරණය කර තිබී ඇත.

නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයට සමගි ජන බලවේගය වෙතින් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කිරීමට රණතුංගට ආරාධනාවක් ලැබී තිබුණු බව ඔහුට සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවෙතත්, ඔහු එම ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළ බවත්, තමාට විදේශයන්හි තම ව්‍යාපාරික කටයුතු සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය බවත් කාලය ඇති විට ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීමට උපකාර කිරීමට උත්සාහ කරන අතරම මානුෂීය කටයුතු වෙනුවෙන් කාලය කැප කිරීමට තමන් කැමති බව අවධාරණය කළ බවත් දැනගන්නට තිබේ.

මේ අතර, නීති සම්පාදකයන් ලෙස 10 වැනි පාර්ලිමේන්තුවට පිවිසීමේ බලාපොරොත්තු ඇතිව තවත් ප්‍රකට හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකු නොවැම්බර් මැතිවරණ සටනට පිවිස ඇත.

ඒ, අලුතින් පිහිටුවන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ (UDV) පක්ෂය යටතේ කළුතර දිස්ත්‍රික්කයට තරග කරන හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් සහ ජාතික ජන බලයේ ජාතික ලැයිස්තුවේ සිටින හිටපු ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්නයි.

පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හළ 47 හැවිරිදි ඩිල්ෂාන්, ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය හා සම්බන්ධ වී එහි කළුතර ප්‍රධාන සංවිධායක ලෙස ද පත්වීම ලැබීය.

කෙසේවෙතත්, ඩිල්ෂාන් එතැන් සිට සමගි ජන බලවේගය අතහැර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස සම්බන්ධ වී ඇති අතර, පක්ෂයට නායකත්වය දෙන්නේ ආන්දෝලනාත්මක නළුවකු හා දේශපාලකයකු වන රන්ජන් රාමනායක විසිනි.

කෙසේවෙතත් මීට වසර 20 කට පෙර ධාවන පථයෙන් විශ්‍රාම ගත් සුගත් තිලකරත්න ජාතික ජන බලවේගය යටතේ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසෙන පළමු අවස්ථාව මෙය වේ.

51 හැවිරිදි තිලකරත්න, 90 දශකයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රය නියෝජනය කරමින් අන්තර්ජාතික ඉසව් රාශියකදී රට නියෝජනය කළ අතර ඔහු මීටර් 400 ඉසව්වෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ රන් ඇතුළු පදක්කම් ගණනාවක් දිනා ඇත.

මේ අතර දකුණු ආසියාවේ එක් කාලයක වේගවත්ම මිනිසා වූ ෂෙහාන් අඹේපිටිය ද ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් සර්වජන බලය හරහා දේශපාලනයට පිවිසීමට තීරණය කර තිබේ.

34 හැවිරිදි අඹේපිටිය එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.

 

42.31%
17.27%
32.76%