January 7, 2025

’83’ චිත්‍රපටය තිරගත කරමින් ඊයේ ආරම්භ වූ ඉන්දීය සිනමා උළෙලේ විශේෂ ආරාධිතයන් ලෙස මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක දෙපළක් වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා සහභාගී වූහ.

ඉන්දියාවේ ඓතිහාසික 1983 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය නිරූපණය කරන මෙම චිත්‍රපටය නැරඹීම සඳහා 1996 ශ්‍රී ලංකා ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනා සමඟින් ප්‍රේක්ෂකයෝ රැසක් එක්ව සිටියහ.

කොළඹ PVR සිනමා ශාලාවේදී පැවැත්වෙන 2025 ඉන්දීය චිත්‍රපට උළෙල සමාරම්භය සනිටුහන් කරනු ලැබුවේ යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ඉන්දීය චිත්‍රපට කර්මාන්තය අගය කළ අතර, විශේෂයෙන්ම ක්‍රීඩාවට කැප වූ චිත්‍රපටවල දායකත්වය අවධාරණය කළේය.

එම අවස්ථාවට එක්ව සිටි මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා පැවසුවේ රට පුරා පැවැත්වෙන සිනමා උළෙල 2025 නව වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධ වන පිරිස් සඳහා ශක්තිමත් බැඳීමක් වෙනුවෙන් වන මුලපිරීමක් බවයි.

ඉන්දියානු චිත්‍රපට උළෙල 2025 ජනවාරි 06 වනදා සිට 10 වනදා දක්වා කොළඹ, බදුල්ල, යාපනය, ගාල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොණරාගල සහ නුවරඑළිය ඇතුළු නගර කිහිපයක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

ඊට සමගාමීව මොණරාගල දිස්ත්‍රික් පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ‘අම්මා කනක්කු’, ‘වික්‍රම්’ සහ ‘ජායි බිම්’ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

කොළඹ පැවැත්වෙන උත්සවයේ කාලසටහන සහ නොමිලේ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට dir.icc.colombo@gmail.com වෙත පිවිසිය හැකිය.

42.31%
17.27%
32.76%