October 23, 2023

විදුහල්පතිවරුන් 4,718කට ආසන්න පිරිසකට නොවැම්බර් මස මුල් සතිය තුළ පත්වීම් ලිපි ලබාදෙන බව අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද් කුමාර් පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පවසන්නේ, විපක්‍ෂය විසින් මේ සම්බන්ධ ගැටලුව පාර්ලිමේන්තුවේදී මතුකිරීමෙන් පසුව සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සහ වැටුප් විෂමතා නිවැරදි කරන ලෙසට වෘත්තීය සමිති ව්‍යාපාර විරෝධතා දැක්වීමෙන් පසුවයි.

ලබන මාසයේ බඳවා ගැනීමට නියමිත විදුහල්පතිවරුන් 4718දෙනකු විදුහල්පති සේවයේ ශ්‍රේණි තුනටම අනුයුක්ත කරන බව රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරයි.

“ශ්‍රේණි තුනටම විදුහල්පතිවරු 5000ක් පමණ බඳවාගන්නවා. අදාළ පත්වීම් ලිපි නොවැම්බර් 04 දින භාරදීමට අපි සූදානම්” යැයි රාජ්‍ය ඇමැතිවරයා ඊයේ පැවති උත්සවයකදී පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි අයවැයෙන් ගුරුවරුන්ට වැටුප් වර්ධකයක් ලබාදීමට ඉඩ ඇති බවයි.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මේ මස මුලදී ප්‍රකාශ කළේ, ගුරු අධ්‍යාපන සේවයේ පුරප්පාඩු 705ක් සහ අධ්‍යාපන පරිපාලන සේවයේ තවත් පුරප්පාඩු 405ක් පිරවීමට රජය සැලසුම් කර ඇති බවයි.

එම පුරප්පාඩු පිරවීමත් සමඟ ගුරු උපදේශක සේවයේ පවතින විෂමතා ඉවත්වන බව ඇමැති ප්‍රේමජයන්ත එහිදී ප්‍රකාශ කළේය.

පාසල් නිල ඇඳුම් සහ දිවා ආහාර සැපයීම ක්‍රමානුකූලව වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇති බවත් 2023 වසරට වඩා වැඩි ප්‍රතිපාදන මෙවර ඉල්ලුම් කර ඇති බවත් ප්‍රේමජයන්ත සඳහන් කර තිබිණි.

2024 ජනවාරි වන විට සමස්ත අධ්‍යාපන ක්‍රමයේම මානව සම්පත් හිඟයන් පියවරෙන් පියවර පියවා ගැනීමට අපේක්ෂා කරන බවත්, අධ්‍යාපන පරිවර්තනයේදී සිදු කරන ලද ව්‍යුහාත්මක වෙනස්කම්වලට අනුව ක්‍ෂේත්‍රයේ සියලු දෙනාම අනුගත විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව 2030 වන විට සියලුම රජයේ පාසල් සිසුන්ට පාසලේ දිවා ආහාරය නොමිලේ ලබා දීමට අමාත්‍යංශය සැලසුම්කර තිබේ.

42.31%
17.27%
32.76%