November 30, 2023

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට අපහාස කිරීමක් බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරයි.

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 273ක් පමණ මිය ගිය අතර තවත් 500ක් තුවාල ලබා ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය වැලැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ට දොස්පවරා තිබිණි. ඔහුට එරෙහිව විනය පියවර ගැනීමට කොමිසම නිර්දේශ කර ඇත. එවැනි අයෙකු වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අපරාධයක්” යැයි කාදිනල් රංජිත් හිමිපාණන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියි.

“තෙන්නකෝන්ට තවත් චෝදනා තියෙනවා. පසුගිය වසරේ මැයි 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට ඔහු අසමත් වීම සහ ජනාධිපති මන්දිරයෙන් ලැබුණු මුදල් මහජන ආරක්‍ෂක අමාත්‍යවරයාට භාර දෙන ලෙස කොටුව පොලිසියෙන් ඉල්ලීමට ඔහු ගත් ක්‍රියාමාර්ගය ඊට ඇතුළත්. මෙම ක්‍රියාවෙන් පෙනීයන්නේ තෙන්නකෝන්ට ජාතික ආරක්ෂාව පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බවයි. මෙවැනි තත්ත්වයක් මත ඔහු වැඩ බලන පොලිස්පතිවරයා වීමට සුදුසු නැහැ,” යැයි කාදිනල් හිමියෝ වැඩිදුරටත් පවසති.

“බලයට කෑදර පිරිසක් ජනාධිපතිවරයාට මෙම පත්කිරීම සඳහා බලපෑම් කර ඇති බව පැහැදිලියි. ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාදාමය අපි තරයේ හෙළාදකිනවා” යැයි ද උන්වහන්සේ අවධාරණය කරති.

42.31%
17.27%
32.76%