September 11, 2024

යුරෝපා සංගමයේ ඉහළම අධිකරණයක් ගූගල් සමාගම වෙත නියෝග‍යක් නිකුත් කර තිබේ.

ඒ, වසර හතකට පෙර යුරෝපා සංගමයේ නියාමකයින් විසින් නියම කරන ලද යුරෝ බිලියන 2.4 ක දඩයක් ගෙවා දමන ලෙසටය.

එමෙන්ම අයර්ලන්තයට ආපසු බදු වශයෙන් යුරෝ බිලියන 13ක් ගෙවන ලෙස යුරෝපීය කොමිසමේ නියෝගයට එරෙහිව ඇපල් සමාගම ඉදිරිපත් කර තිබූ අවසන් නීතිමය අභියෝගය ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

Apple සහ Google යන සමාගම්වලට එරෙහිව යුරෝපා සංගමයේ එම ඉහළම අධිකරණය මගින් ඊයේ මෙලෙස ප්‍රධාන තීරණ දෙකක් ලබා දුන්නේ යුරෝ බිලියන ගණනක් හිමිවන නඩු සඳහා වෙන් වෙන් වශයෙන් තීන්දු ලබාදෙමිනි.

ප්‍රකාශයට පත් කෙරුණු එම අධිකරණ තීන්දු යුරෝපානු කොමිසමේ විධායක උප සභාපති Margrethe Vestager ලද ජයග්‍රහණයක් මෙන්ම ඇගේ කීර්තිනාමයට වාසිසහගත බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

Margrethe Vestagerගේ ධූර කාලය එළඹෙන නොවැම්බර් මාසයෙන් අවසන් වන අතර ඇගේ දැඩි ප්‍රතිපත්ති සහ තීරණ හේතුවෙන් යුරෝපා සංගමයේ උසාවිවල පසුබෑම් මාලාවකට මුහුණදුන් බව පැවසේ.

දිගුකාලීන නීතිමය සටනක් අවසන් කරමින්, යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය වන ‘යුරෝපීය අධිකරණය’, අයිෆෝන් නිෂ්පාදකයා වන ඇපල් සමාගම අයර්ලන්තයට ආපසු බදු වශයෙන් යුරෝ බිලියන 13 ක් (ඩොලර් බිලියන 14.3) ගෙවිය යුතු බවට තීන්දු කළේය.