July 20, 2024

ඇපලෝ 11 යානය සඳ මත ගොඩබෑමේ ඓතිහාසික අවස්ථාවට අදාළ 55 වැනි සංවත්සරය අද සනිටුහන් වේ.

චන්ද්‍ර ගවේෂණයේ තවත් යෝධ පිම්මක් කඩිනමින් ළඟා වනු ඇති බවට ද මේ වනවිට බලාපොරොත්තු ඉහළ මට්ටමක තිබේ.

මේ වන විට අභ්‍යවකාශ ආයතනවලට අවශ්‍ය වී ඇත්තේ හුදෙක් සංචාරය කිරීමට වඩා වැඩි යමකි.

අධික පිරිවැය හේතුවෙන් අත්හිටුවන ලද ඇපලෝ වැඩසටහන මෙන් නොව, අනාගත සඳ ගවේෂණ මෙහෙයුම් තාක්‍ෂණයේ දියුණුව, අන්තර්ජාතික හවුල්කාරිත්වයන් සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීම යටතේ ආර්ථික වශයෙන් ශක්‍ය බවට පත් කිරීමෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරයි.

මෙම ප්‍රයත්නයන් තිරසාර ගවේෂණ සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා සහාය වන ස්ථිර චන්ද්‍ර කඳවුරු සහ යටිතල පහසුකම් ඇති කිරීමට හේතු වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

1961 සිට 1972 දක්වා ක්‍රියාත්මක වූ ඇපලෝ වැඩසටහන කෙටි කාලීන මෙහෙයුම් සඳහා ගගනගාමීන් 12 දෙනෙකු සාර්ථකව සඳ මතට ගොඩ බැස්සවූ නමුත් එතැන් සිට කිසිදු මිනිසකු සඳ වෙත යොමුකර නැත.

නාසා ආයතනය දැන් බලාපොරොත්තු වන්නේ ඇපලෝගේ උරුමය පුළුල් කරමින් ඔවුන්ගේ ආටෙමිස් වැඩසටහන සහ සඳ-කක්ෂගත මධ්‍යස්ථානයක් වන ගේට්වේ හරහා ස්ථිර මානව පදනමක් ගොඩනැගීම සඳහායි.

මෙම මෙහෙයුම් යථාර්ථයක් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අන්තර්ජාතික හවුල්කරුවන්ගේ සහ SpaceX සහ Blue Origin වැනි පෞද්ගලික සමාගම්වල සහාය ලබා ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගේට්වේ සඳහා තීරණාත්මක දායකත්වයක් සපයන අතර ඊට ලැබෙන ප්‍රතිලාභයක් ලෙස ඔවුන්ගේ ගගනගාමීන්ගෙන් කෙනෙකුට සඳ වෙත යෑමට අවස්ථාව ලැබෙනු ඇත.

නාසා ආයතනය අභ්‍යවකාශ තරඟයේදී සෝවියට් දේශය පරදවා 1969 දී ප්‍රථම මිනිසා සඳ මතට ගොඩ බැස්සවූ අතර එය එක්සත් ජනපදයේ තාක්‍ෂණික දස්කම් ප්‍රදර්ශනය කළ දැවැන්ත ජයග්‍රහණයකි.