August 25, 2024

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තිබූ විදේශ ණය ප්‍රමාණය මහා භාණ්ඩාගාරයට පියවා ඇති බැවින් ඉන්ධන බදු අඩුකළ හැකි බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නිගමනයකට පැමිණියේ කෙසේදැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ප්‍රශ්න කරයි.

ඔහු පවසන්නේ තමන් බලයට පත් වුවහොත් දැනට මහා භාණ්ඩාගාරය විසින් ලබා ගෙන ඇති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තිබූ විදේශ ණය ප්‍රමාණය ගෙවීමට ඉන්ධන ලීටරයක් මත අය කරන රුපියල් 50ක බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරන බව අනුර කුමාර පවසා ඇති බවයි

අදාළ ණය මුදල සම්පුර්ණයෙන්ම මහා භාණ්ඩාගාරයට පියවා ඇති බැවින් එය ඉවත් කළ හැකි බව ඔහු සඳහන් කර ඇතැයි ද මෙම නිගමනයට ඔහු පැමිණියේ කෙසේදැයි තමන් නොදන්නා බවත් ඇමැති විජේසේකර පවසයි.

ඉන්ධන සහ විදුලිය නොමැතිව රට ආර්ථික අර්බුදයේ අසීරු අවස්ථාවක සිටියදී ජනාධිපතිවරයාට ජනප්‍රිය නොවන නිවැරදි තීරණ ගැනීමට සිදු වූ බවත් එම තීරණ ගත් බැවින් අද අවශ්‍ය ඉන්ධන ලබා දීමට හැකියාව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

2022 වසරේ මහා භාණ්ඩාගාරය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙන තිබූ සහ ගෙවීම් පැහැර හැර තිබූරුපියල් බිලියන 1200කට වැඩි ණය ප්‍රමාණයක් ඔවුන්ගේ ගිණුමට ලබා ගනු ලැබුවේ ඉන්ධන ලීටරයකින් රුපියල් 25ක පමණ බද්ධක් 2022 වසරේ සිට අය කර එය ගෙවීමට බව ඇමැති විජේසේකර පවසයි.

එම බද්ධ රුපියල් 50 දක්වා 2023 වසරේ වැඩි කරන ලද්දේ එම ණය 2029 වසර වන විට ගෙවා අවසන් කරන සැලසුමක් සහිතව බවත් 2025 වසර ආරම්භ වන විට ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 656ක් වන බවත් ඔහු සඳහන් කරයි.

ඔහු ප්‍රශ්න කරන්නේ මෙලෙස තවත් රුපියල් බිලියන 656ක් ගෙවීමට ඇති පසුබිමක ජනතාව සහ ඡන්ද දායකයන් මුලා කරමින් ඉන්ධන මත ඇති බදු අඩු කර ඉන්ධන මිල අඩු කරන බව පවසන්නේ එම ගෙවීමට ඇති මුදල පියවීමට මුදල් මුද්‍රණය කිරීමෙන්ද, තවත් ණය ගැනීමෙන්ද, වෙනත් බදු වැඩි කර අදායම වැඩි කිරීමෙන්ද එසේත් නොමැතිනම් වෙන කවර ආකාරයෙන්ද යන්නයි.

තමන් ජාතික ජන බලවේගයට මීට පෙර කළ ආරාධනාව නැවත සිදුකරන බවත් ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳ, රජයේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳ, රජයට එල්ල කරන බලශක්ති ක්ෂේත්‍රයේ දුෂණ හෝ වංචා ගැන ඕනෑම විවාදයකට හෝ සංවාදයකට පැමිණෙන ලෙස ආරාධනා කරන බව ද ඇමැති විජේසේකර පවසයි.