September 12, 2024

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් රූක්ස් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

දකුණු අප්‍රිකානු පළමු පෙළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු සහ නෙදර්ලන්තයේ හිටපු පුහුණුකරුවකු වන රූක්ස් 2022 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකාර ධුරය භාර ගත්තේය.

ඔහු පවසා ඇත්තේ 2024 අගෝස්තු 14 වැනිදා තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පන්දු රැකීමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සේවය කිරීමට ලැබීම ඉමහත් ගෞරවයක් සහ සැබවින්ම නිහතමානී අත්දැකීමක් බව ද ඔහු සඳහන් කර තිබේ.

මෙම ගමනේදී ලැබුණු මතකයන් සහ අත්දැකීම් සදාකාලිකවම අගය කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ඕවල් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව කඩුලු 8කින් එංගලන්තය පරදවා ජය ලැබූ ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික පන්දු රැකීමේ පුහුණුකරු ලෙස රූක්ස්ගේ අවසන් අන්තර්ජාතික තරගය විය.

තමා පන්දු රැකීමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කළ කාලය තුළ ශ්‍රී ලංකාව අත්කරගත් දේ පිළිබඳව ද ඔහු අදහස් දක්වා ඇත.

“ආසියානු කුසලාන අවසන් තරග දෙකකට පැමිණීමත්, අවසානයේදී 2022 ආසියානු T 20 කුසලානය ජයග්‍රහණය කිරීමත් මෙම කණ්ඩායමේ සැබෑ හැකියාවන් පෙන්නුම් කළ විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ කුසලානය නැවත ලංකාවට ගෙන ඒම සහ එය රසික රසිකාවියන්ට ගෙන දුන් ප්‍රීතිය දැකීම දිගු කලක් මා අගය කරන දෙයක්.” යනුවෙන් ඔහු පවසා ඇත.

“ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ කෙටි කාලයක් ගත කිරීමේ වරප්‍රසාදය ද තමාට හිමි වූ බවත් ඔවුන්ගේ ඉගෙනීමට ඇති සාගින්න, ක්‍රීඩා කිරීමට සහ තරඟ කිරීමට ඇති ආශාව සහ ක්‍ෂේත්‍රයේ ඔවුන්ගේ ක්‍රීඩා හැකියාව පිළිබඳ මා දැඩි ලෙස පැහැදුණා.” යනුවෙන්ද රූක්ස් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ තමා ගෙවූ ජීවිතය අමතක නොවන තැනට පත් කළ පුද්ගලයන්ට ද රූක්ස් කෘතඥතාව පළ කළේය.

“ශ්‍රී ලංකාවත් මගේ පවුලේ කතාවේ කොටසක් වෙලා. එය මගේ දෙවැනි පුත්‍රයා වන ඒඩ්න් උපන් රටයි, කොළඹ ජෝශප් ෆ්‍රේසර් රෝහලේදී අපට ලැබුණු ආදරය සහ රැකවරණය මේ සුන්දර රටට සදාකාලික මතකයක් මෙන්ම සදාකාලික සම්බන්ධතාවක් වනු නොඅනුමානයි” යනුවෙන් ඔහු සඳහන් කරයි.