November 2, 2023

සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වනවිට අත්හිටුවා තිබේ.

පාර්ලිමේන්තුව පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොඩගැසීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග පැවසුවේ පසුගිය මාස කිහිපය තුළ ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කළ මතභේදාත්මක නීති කිහිපයක් නිසා , ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව පෙත්සම් ගොනු කළහොත් එහි සාමාන්‍ය නඩු විභාගය සඳහා වෙන් කිරීමට ප්‍රමාණවත් කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොලැබෙන බවයි.

එබැවින් මෙම තත්ත්වය සළකා බලා අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සහ පාර්ලිමේන්තුව එක්ව දැනට ඉදිරිපත් කරන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෑතකදී ඉදිරිපත් කරන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 50කට ආසන්න ප්‍රමාණයක් ගොනු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දුන් බවත්, එබැවින් මෙම ව්‍යවස්ථාපිත ක්‍රියා පටිපාටි ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියා පටිපාටිවලට බාධා නොවන පරිදි ක්‍රියාත්මක කළ යුතු බවටත් තීරණය කරඇති බව එම ආරංචි මාර්ග පැවසීය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථාපිත කර ඇත්තේ ජනතාවට සේවය කිරීම සඳහා බවත් එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට එහි ව්‍යවස්ථාමය බලය ක්‍රියාත්මක කරන අතරම සාමාන්‍ය නඩු විභාගයට ප්‍රමුඛත්වය දියයුතු බවයි.

පසුගිය ඔක්තෝබර් මස මුලදී එනම් ඔක්තෝබර් 3 වන දින, සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සැලසුම් කළ පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබූ බැවින් එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කරන ලදී.

විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සභානායක සුසිල් ප්‍රේමජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ඉල්ලා අස්කර ගැනීම නිසා එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කර ඇති බවයි.

පනත් කෙටුම්පත ඔක්තෝබර් 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව සභානායක ලේකම්වරයා තමාට දැනුම් දුන් බවද ඔහු නිවේදනය කළේය.

මේ අතර, පසුගිය මස මුලදී, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් වසන්ත පෙරේරා කියා සිටියේ පනත් කෙටුම්පත සභාගත කිරීමට පාර්ලිමේන්තුව දිනයක් ලබාදෙන තෙක් අමාත්‍යංශය බලා සිටින බවයි.

ලබන වසර (2024) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඇතුළු විවාද කිහිපයකින් පාර්ලිමේන්තු දින දර්ශනය පිරී ඇති බවත්, එබැවින් එය බොහෝ විට මේ වසර (2023) අවසානයේ සභාගත කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පසුගිය වසරේ (2022) සැප්තැම්බර් මාසයේදී ඇමැති මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත 2023 මාර්තු 22 වැනි දින රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

පසුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්ව විසින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කළ අතර අධිකරණ අමාත්‍යංශය විසින් විධිමත් ලෙස ඔවුන්ගේ යෝජනා සහ අදහස් කැඳවනු ලැබීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයට ලැබුණු සියලු අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් රජයේ ගැසට් පත්‍රයේ පළ වූ පනත් කෙටුම්පතේ මුල් කෙටුම්පත සංශෝධනය කර පනත් කෙටුම්පත නැවත සකස් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබිණි.

(The Morning)

42.31%
17.27%
32.76%