August 9, 2023

චීන වරාය කඳවුරේ දී පසුගියදා සිදුවූ අනතුරින් ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් මියයෑමේ සිද්ධියෙන් අනතුරුව ඔවුන් පුහුණුවට යොදාගත් PT-6 වර්ගයේ පුහුණු ගුවන් යානයේ ගුණාත්මකභාවය සහ තත්ත්වය පිළිබඳව පාර්ශව කිහිපයක් කරන ලද චෝදනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කර ඇත.

එම ගුවන් යානා කඩාවැටීමෙන් මේ වන විට ගුවන් නියමුවන් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 1958 වසරේ නිෂ්පාදිත ගුවන් යානා තවමත් පුහුණු කටයුතු සඳහා යොදාගන්නේ මන්දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ඊයේ (8) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

මෙවැනි පැරණි ගුවන් යානා පුහුණුවීම් සඳහා භාවිත කිරීම කනගාටුවට කරුණක් බවත්, ඒවා පුහුණු කටයුතු සඳහා යොදා නොගෙන කෞතුකාගාරවල තබාගත යුතු බවත්, මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෆීර් ප්‍රහාරක ජෙට් යානා අලුත්වැඩියා කිරීමට රජය ඩොලර් මිලියන 55ක් වැය කරන අතර, PT-6 ගුවන් යානය සඳහා වැය කර ඇත්තේ ඩොලර් මිලියන 0.75ක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගුවන් යානා භාවිතයෙන් ඉවත් කළ යුතු අතර, පුහුණු කටයුතු සඳහා නව ගුවන් යානා භාවිතා කළ යුතු බවත්, ගුවන් හමුදාව සහ රජය මෙවැනි වගකීම් විරහිත ලෙස ගුවන් නියමුවන්ගේ ජීවිත අනතුරේ නොදැමිය යුතු බවත්, වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ විසින් මන්ත්‍රීවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ, මෙම අනතුරට ලක්වූ ගුවන් යානය 1950 ගණන්වල නොව 2018 වසරේ නිෂ්පාදිත එකක් බවයි.

එමෙන්ම ගුවන් හමුදාව පුහුණුවීම් සහ අනෙකුත් කටයුතු සඳහා භාවිත කරන යානා සියල්ලම 2000 වසරින් පසුව නිෂ්පාදනය කර ඇති යානා බව ද ඔහු පවසයි.

ගුවන් හමුදාව භාවිත කරන ගුවන් යානා 18න් ගුවන් යානා 10ක් 2001 වසරේදී ද, දෙකක් 2009 වසරේ සහ ඉතිරිය 2018 දී නිෂ්පාදනය කර ඇති යානා බව හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම ගුවන් යානා දෙකක් කඩා වැටීමෙන් මිය ගොස් ඇත්තේ නිලධාරීන් පස් දෙනෙක් පමණක් බවත්, ඒ අනුව මන්ත්‍රීවරයා ලබාදුන් සංඛ්‍යාලේඛන වැරදි බවත්, ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.