November 23, 2024

කොතලාවල විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් රැගත් බස් රථයක් නොවැම්බර් 01 වැනිදා බදුල්ලේදී මාරක අනතුරකට ලක්වීමේ සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව එම අනතුරින් මියගිය සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ යයි.

මෙලෙස මියගොස් ඇති සිසුවා වන්නේ 24 හැවිරිදි කයිලනාදන් සින්තුජන්ය.

යාපනයේ කන්තර්මඩම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මේ දක්වා විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර අද (23) මියගොස් ඇත.

යාපනය හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත.

පසුගිය නොවැම්බර් 01 වැනිදා බදුල්ල දුන්හිඳ පාරේදී 40කට අධික පිරිසක් රැගත් බස් රථයක් පෙරළීමෙන් සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 39 දෙනෙකු තුවාල ලබා තිබිණි.

එලෙස මියගියේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකි.

සිසුන් රැගෙන ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා යමින් සිටියදී බස් රථය මාර්ගයක ගැටී පෙරළී ගොස් තිබේ.

23 හැවිරිදි සිසුවියන් දෙදෙනාම හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මිය ගිය බව පශ්චාත් මරණ පරීක්‍ෂණවලින් අනාවරණ විය.

වාර්තා වන අන්දමට නොවැම්බර් 01 වැනිදා පෙරවරු 7.45ට පමණ බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් තුන්වන සහ හතරවන කිලෝමීටර් සලකුණු ආසන්නයේ දී මෙම අනතුර සිදුව තිබිණි.

එම මාරක බස් රථ අනතුරට සම්බන්ධ බස්රථ රියදුරු මීට පෙර බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 05කට රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබූ බව පසුගිය නොවැම්බර් 05 වැනිදා අධිකරණය හමුවේ අනාවරණ විය.

උඩුගම, දම්මල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම රියදුරු, ඔහුගේ බලපත්‍රය අත්හිටුවීමෙන් පසු තම බලපත්‍රය නැතිවූ බවට හිනිදුම පොලිසියට අසත්‍ය වාර්තා කර ඇති අතර පසුව ඒ වෙනුවට රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇත.

මෙම තොරතුරු සැළකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ දැනට සැකකරු සන්තකයේ ඇති රියදුරු බලපත්‍රය රඳවා තබාගෙන අධිකරණ භාරයට පත් කරන ලෙස නියෝග කළාය.

 

42.31%
17.27%
32.76%