July 2, 2024

සංශෝධනවලට යටත්ව ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පතට මහජන මුදල් පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව උසස් තාක්ෂණයට අනුකූලව කර්මාන්තය නියාමනය කිරීම සඳහා පහසුකම් සපයමින් දැනට පවතින නීතිය මෙලෙස සංශෝධනය කෙරෙන්නේ වසර 28කට පසුවයි.

එය ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව මෙරටට හඳුන්වාදීම සඳහා තැබූ ඉදිරි පියවරක් ද වේ.

මෙමගින් අපේක්ෂා කෙරෙන්නේ උසස් විදුලි සංදේශ තාක්‍ෂණයේ ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට ලැබීම සහතික කිරීමයි.

රාජ්‍ය ඇමැති කනක හේරත් පවසන පරිදි මෙම පනත් කෙටුම්පත බලාත්මක කළ පසු රට තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා නියාමනය කිරීම සඳහා විධිවිධාන සැලසේ.

පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්, තාක්ෂණ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී අදාළ අනුමැතිය ලබාදුන් බවයි.

ඇතැම් වගන්ති සංශෝධනය කළ යුතු බවට යෝජනා කරමින් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ ඉදිරිපත් කර ඇති බව කථානායකවරයා පසුගියදා නිවේදනය කර තිබිණි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරනු ලබන සංශෝධන ලෝකයේ තාක්ෂණික ප්‍රවණතාවලට අනුකූල වන පරිදි සිදු කෙරෙනු ඇත.

මීට අමතරව තරඟකාරී ක්‍රමවේදයක් යටතේ විදුලි සංදේශ සංඛ්‍යාත ලබාදීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීමට අදාළ නීති ද සම්පාදනය කෙරෙන බව රැස්වීමේදී අනාවරණ කෙරිණි.

ඒ අනුව දැනට පවතින විදුලි සංදේශ පද්ධති බලපත්‍ර සහ සංඛ්‍යාත බලපත්‍රවලට අමතරව තවත් බලපත්‍ර වර්ග 3ක් හඳුන්වා දෙනු ඇත.

විදුලි සංදේශ සේවා සපයන සමාගම්වලට අමතරව යටිතල පහසුකම් සපයන සමාගම්වලට ද බලපත්‍ර නිකුත් කිරීමට එමගින් ප්‍රතිපාදන සලසනු ඇත.

මෙම සංශෝධන හරහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලතල ශක්තිමත් කිරීමට නියමිතව තිබේ.

 

42.31%
17.27%
32.76%