September 19, 2024

මාතර, මිදිගම ප්‍රදේශයේ මාළු වෙළෙඳ සැලකට අද අලුයම පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයන් වෙළෙඳසැලට වෙඩි තබා ඇති බවයි.

ගොවියාපාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එම වෙළෙඳ සැලේ හිමිකරු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

තුවාල ලැබූ අනෙක් දෙදෙනා ගනුදෙනුකරුවන් වන අතර ඔවුන් දෙදෙනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.

විදෙස්ගතව ක්‍රියාත්මක වන පාතාල නායකයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකරවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මිදිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.