September 2, 2024

කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලට ඊයේ(01දා) දින මුද්‍රා තැබීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වයඹ පළාත් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබිණි.

මෙසේ මුද්‍රා තැබීමට කටයුතු කර ඇත්තේ කල්පිටිය නගර මධ්‍යයේ ඉදිකර ඇති කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතිය මඟින් පරිපාලනය කරනු ලබන ඉන්ධන පිරවුම්හලටය.

අදාළ ඉන්ධන පිරවුම්හල තුළින් පාරිභෝගිකයන් වෙත බෙදාහරිනු ලබන පෙට්රල් සඳහා භූමිතෙල් මිශ්‍ර බවට ප්‍රදේශවාසීන් විසින් කිහිපවතාවක්ම ලිඛිතව සහ වාචිකව සිදුකරනු ලැබූ පැමිණිලි කිහිපයකට අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වයඹ පළාත් කාර්යාලයේ නිලධාරීර්න් පිරිසක් විසින් මෙම ඉන්ධනහල ඊයේ (01දා) දින විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමෙන් අනතුරුව එහි පෙට්රල් අඩංගු ගබඩාවට සහ ඉන්ධන බෙදාහැරීමේ යන්ත්‍රයට මුද්‍රා තැබීමට කටයුතු කළ අතර එහිදී ඉන්ධන අඩංගු බෝතල් කිහිපයක්ද සාම්පල් සඳහා රැගෙන යෑමට කටයුතු කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වයඹ පළාත් වැඩබලන කළමනාකරු එස්. බී. රත්නායක ප්‍රකාශ කර ඇත.

කල්පිටිය ප්‍රදේශයේ අති විශාල ජනතාවක් ජීවත් වන අතර මොවුන්ගේ එදිනෙදා කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාව සපුරා ගැනීමට සෘජුව මෙම ඉන්ධනහලින් ඉන්ධන ලබාගැනීමට කටයුතු කළද, ඉන්ධන හල මඟින් නිකුත් කරනු ලබන බහුතරයක් පෙට්රල්වල භූමිතෙල් අඩංගුවීම හේතුවෙන් යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු පෙට්රල් මඟින් ක්‍රියාත්මක වන අනෙකුත් යන්ත්‍ර විටින් විට අක්‍රිය වීම හේතුවෙන් පාර්භෝගිකයන් විශාල පිරිසක් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි පාරිභෝගිකයෝ මැසිව්ලි නඟති.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වයඹ පළාත් වැඩබලන කළමනාකරු එස්. බී. රත්නායක ඇතුළු කණ්ඩායම විසින් මෙම පරීක්ෂණය සිදුකර මෙසේ මුද්‍රා තැබීමට කටයුතු කර තිබිණි.