March 24, 2025

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ව්‍යාජ ලියකියවිලි යොදාගනිමින් ට්‍රැක්ටර් රථ බව හඟවා සුඛෝපබෝගී වාහන ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී අනාවරණය වී තිබේ.

ආගමික ආයතන සඳහා ලබාදෙන මුවාවෙන් ආනයනය කරන ලද වාහන 158කට අදාළ බලපත්‍ර කොන්දේසි ද එම නිලධාරීන් විසින්ම උල්ලංඝනය කර ඇති බව මාර්තු 22 වැනිදා පැවැති කෝපා රැස්වීමේදී වැඩිදුරටත් අනාවරණ වී ඇත.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කර ඇත්තේ, අදාළ එක් නිලධාරියකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවයි.

කෙසේවෙතත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් එම සේවකයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇති බවද ඔහු පවසා ඇත.

මේ අතර මාර්තු 12 වැනි දින, පූර්ව සූදානමකින් තොරව කාරක සභාව හමුවේ පෙනීසිටීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව දැඩි අප්‍රසාදය පළකර තිබේ.

ඒ අනුව පැමිණ සිටි නිලධාරීන් නිසි පරිදි දැනුවත් කර සහ ප්‍රමාණවත් ලෙස සූදානම් කර ඉදිරි දිනයක පෙනී සිටින ලෙස උපදෙස් ලබාදී ආපසු යවා ඇත.