April 4, 2025

වැලිකඩ පොලිසිය මගින් පසුගිය 01දා අත්අඩංගුවට ගත් 25 හැවිරිදි බදුල්ල, මීගහකිවුලේ පදිංචි තරුණයකුට වධහිංසා කර ඇති බව අනාවරණය වෙමින් තිබේ.

ශරීරයේ තැලීම් රැසක්

ඊයේ (03) පැවති මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ මියගිය තරුණයාගේ හිසේ සහ ශරීරයේ ස්ථාන රැසක තැලීම් තුවාල තිබෙන බවයි. එහෙත් ඒවා මරණයට හේතු වූයේද යන්න පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරියා සඳහන් කර නැත. ඒ සඳහා මියගිය පුද්ගලයාගේ ශරීර කොටස් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවා තිබේ.

ඥාතීන්ගේ කතාව

මියගිය පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ තමන්ට පොලිසිය කරදර කරන බව රාත්‍රියේදී තරුණයා මවට දුරකතනයෙන් පවසා ඇති බවයි. පසුව පොලිසියට ගිය අවස්ථාවේ තරුණයාගේ කලිසම සහ කෙස් එහි කසළ බඳුනක තිබූ බවද ඥාතීහු කියති.

පොලිසියේ කතාව

සුපුරුදු පරිදි මේ සම්බන්ධයෙන් පොලිසිය පැත්තේ කතාවක් තිබේ. ඊට අනුව තරුණයා කූඩුවේ හිස ගසාගනිමින් විකාරසහගත ලෙස හැසිරීම නිසා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇත. එහිදී මියගොස් ඇත. ඔහු අත්අඩංගුවට ගත් හේතුව ද පැහැදිලි නැත. ත්‍රීරෝද රථයක් පැමිණි පසු, නාවල ප්‍රදේශයේ වත්තකට ඔහු පැන්න බවත්, එහි හිමිකරුවන් ඔහු අල්ලාගෙන ඇති බවත් ආදී වශයෙන් පොලිසිය කියයි.

ප්‍රශ්න කළ යුත්තේ කුමක්ද?

ඒ සියල්ල වෙනම තිබියදී අප ප්‍රශ්න කළ යුත්තේ සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂා නොකරන පොලිසියේ ක්‍රියාකාරිත්වයයි. අපරාධ රාජ්‍යයේ යෂ්ඨිය ගෙන හැල්මේ දුවන පොලිසියේ හැසිරීමයි. එය පාලනය කළ නොහැකි වැඩ බලන පොලිස්පතිවරයාගේ, මහජන ආරක්ෂක ඇමතිවරයාගේ, අවසානයට ආණ්ඩුවේ වගකීමයි. ආසන්න කාලයේ කොටහේන, වාද්දුව, දැන් වැලිකඩ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් පොරොන්දුවලට මොකද වෙන්නෙ?

අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකුගේ ජීවිතය ආරක්ෂා කිරීම පොලිස් නිලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් විය යුතු අතර, ස්වභාවික අසනීපයක් වැනි අවස්ථාවලදී පවා ඔවුන්ගෙන් තොරතුරු විමසා රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ යුතුය.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, ත්‍රස්තවාදී කටයුතු වැනි භයානක අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තැබීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
එවැනි සැකකරුවන් අත්අඩංගුවේ සිටින අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගබලා ගත යුතු අතර, සෑම පැය බාගයකට ම වරක් සැකකරු පිළිබඳව පරීක්ෂා කර උප සේවා නිලධාරියා විසින් ඒ පිළිබඳව සටහන් යෙදිය යුතුය.
කිසිදු අවස්ථාවක සැකකරුවකු කායිකව හෝ මානසිකව වධහිංසනයට භාජනය නොවීමට වගබලා ගත යුතු අතර, පාපොච්ඡාරණ ලබාගැනීම සඳහා තර්ජනය කිරීම, පෙළඹවීම් හා පොරොන්දු ලබාදීම වැනි ක්‍රියා නොකිරීමට වග බලා ගත යුතුය.
සැකකරුගේ ළඟම ඥාතීන්ට හා නීතිඥවරයාට අවශ්‍ය අවස්ථාවලදී ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදීමට කටයුතු කළ යුතුය.
පොලිස් විමර්ශනවලට බාධා නොවන පරිදි ඔවුන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උපරිම සහාය ලබාදිය යුතුය.

අත්අඩංගුවට පත් සැකකරුවකු මියගිය අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද අදාළ මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවේදී යම් පුද්ගලයෙකු මියගිය අවස්ථාවක ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කළ යුතු වේ.
පොලිස් අත්අඩංගුවේදී සැකකරුවකු මියගිය අවස්ථාවකට අදාළ විමර්ශනය අවස්ථානුකූලව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති, පළාත බාර නියෝජ්‍ය පොලිස්පති හෝ කොට්ඨාසය බාර අධීක්ෂණ නිලධාරියාගේ අධීක්ෂණය යටතේ විමර්ශනය සිදු කළ යුතුය.
එවැනි විමර්ශනයක් සිද්ධිය වූ පොලිස් ස්ථානයෙන් පරිබාහිර වෙනත් පොලිස් ස්ථානයක නිලධාරීන් යොදවා සිදු කළ යුතුය.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුගේ ළඟම ඥාතීන්ගෙන් හා බාහිර පාර්ශ්වයන්ගෙන් හැකිතාක් ස්වාධීන සාක්ෂි සටහන් කර ගැනීම වැදගත් වේ.
එවැනි සිදුවීමකදී යම් නිලධාරියෙකුගේ රාජකාරිය පැහැරහැරීමක් වැනි කරුණක් අනාවරණය වුවහොත්, ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කළ යුතු අතර, එවැනි අවස්ථාවක අදාළ සිද්ධිය පිළිබඳව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තමන් යටතේ තිබෙන විශේෂ විමර්ශන ඒකකය මගින් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතුය.

සිද්ධියේ සංකීර්ණභාවය මත අදාළ විමර්ශනය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ යුතු බවට පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තීරණය කරන අවස්ථාවක අදාළ විමර්ශනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශය ද සහිතව පොලිස්පතිවරයා වෙත යොමු කළ යුතුය.
මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිටතට විමර්ශන කටයුතු සඳහා රැගෙන යෑමේදී මෙම උපදෙස් මාලාව අනුව කටයුතු කිරීමට නිලධාරීන් වගබලා ගත යුතුය. මේ උපදෙස් මාලාව යනු පොලිසිය ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වූවකි.

මෙම උපදෙස්වලට පටහැනිව යම් නිලධාරියෙකු කටයුතු කර ඇති බවට අනාවරණය වුවහොත්, ඔහුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා විසින් සියලු‍ පොලිස් ස්ථානවලට නිකුත් කර තිබෙන මෙම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර තිබේ.
12(1) සහ 13(4) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සඳහන් නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය යන වගන්තිය සහ 13(4) සඳහන් නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට අනුකූල ව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස කිසිම තැනැත්තෙකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තෙකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේය යන වගන්තියත් මෙහිදී බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවකදී සඳහන් කර ඇත.

මෙම අයිතිවාසිකම් ඇතුළු ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය සහ එහි ආයතන බැඳී සිටින බව ද අධිකරණය විශේෂයෙන් අවධාරණය කර තිබේ.

මහේස්ත්‍රාත් වගකීම

පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම්වලදී අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයාට බරපතළ වගකීමක් පැවරුණද, ඇතැම් අවස්ථාවලදී එය ඉටුනොවන බව මේ සම්බන්ධයෙන් මීට පෙර මෙවැනි සිද්ධියක් අවස්ථාවක අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා අවධාරණය කළේය.

එම පරීක්ෂණයේදී පොලිසිය පවසන කරුණු ඒ ආකාරයෙන්ම සටහන් කරගැනීම වෙනුවට, සාක්ෂිකරුවන් කැඳවීම, කැඳවූ ආකාරය, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවූයේද යන්න වැනි ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම පිළිතුරු ලබාගත යුතු බව ද පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, ඇතැම් මහේස්ත්‍රාත්වරුන් එසේ කටයුතු කළ ද, බොහෝ අවස්ථාවලදී එය දැකිය නොහැකි වීම බරපතළ කරුණක් බව ද සඳහන් කරයි. සාමාන්‍යයෙන් පොලිසිය මෙවැනි අවස්ථාවකදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවීමක් පවා සිදුනොකරන බවත්, සාක්ෂිකරුවන්ට බැණවැදීමේ අවස්ථා සුලබ බවත් අවධාරණය කරන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, එමගින් ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති අයිතිය ඇහිරීමක් සිදු වන බව පෙන්වා දෙයි.

වගකිවයුත්තා කවුද?

1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් ආරක්ෂා වීමේ පනත හෙවත් වධහිංසා පනතට අනුව අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම වගකීම අදාළ පොලිස් ස්ථානය බාර ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතුය. එහෙත් බොහෝ අවස්ථාවලදී අධිකරණය මෙවැනි ඝාතන සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ එම වගකීම ප්‍රමාණවත් පරිදි ප්‍රශ්න නොකරන අතර, පොලිසියේ සටහන් සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගනු ලබයි. වැලිකඩ පොලිසියේ පමණක් සිදුවීම් කීයක් ද? රාජ්කුමාරි, දැන් මේ තරුණයා….?

(ශාලික විමලසේන)