May 29, 2024

අමෙරිකාවේ වෙසෙන සුඛෝපභෝගී දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ නියුතු ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු සහ ගැඹුරු මුහුදු පතුල පිළිබඳ ගවේෂකයකු එක්ව සුප්‍රකට ටයිටැනික් නෞකාව ගවේෂණය කිරීම සඳහා යොමුකළ හැකි යානයක ගමන් කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.

ඔහියෝ හි වෙසෙන එම බිලියනපති ව්‍යාපාරිකයා වන ලැරී කොනර් නමැත්තා සහ ට්‍රයිටන් සබ්මැරීනයේ සම-නිර්මාතෘ පැට්‍රික් ලාහේ පවසන්නේ උතුරු අත්ලාන්තික් සාගරයේ ගැඹුරු පතුලේ මුහුදුබත් වී තිබෙන ටයිටැනික් නෞකාව දැකීමට ඔවුන්ට මීටර් 3,800 (අඩි 12,467) ක් පමණ වන සාගර පතුලට යානයක් රැගෙන යාමට අවශ්‍ය බවයි.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් පිරිස රැගෙන ගිය OceanGate සමාගම විසින් ඉදිකරන ලද යාත්‍රාවක් පුපුරා යෑමෙන් එම පුද්ගලයින් පස්දෙනාම මියගියේය.

අනතුරුව එලෙස මුහුදු පතුලට මිනිසුන් රැගෙන යන සබ්මැරීන ගමන් මෙහෙයවන ස‍ංචාරක කර්මාන්තය කඩාවැටීමකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් ව්‍යාපාරික කොනර්ගේ සමාගමේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ යෝජිත මුහුදු ගමන සිදුවන්නේ නාවික සංවිධානයක් විසින් ඊට සුදුසු යාත්‍රාව පිළිබඳ සම්පූර්ණයෙන් සහතික කළ පසු පමණක් බවයි.

සැලසුම් කළ ගවේෂණය සඳහා මෙතෙක් කාල රාමුවක් ද සකසා නොමැත.

එහෙත් Triton 4000/2 Abyssal Explorer ලෙස යාත්‍රාව නම් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔවුන් පවසයි.

“4000” යන්නෙන් අදහස් කරන්නේ යාත්‍රාව ආරක්ෂිතව යෙදවිය හැකි මීටර්වල ගැඹුරයි.

OceanGate විසින් ඉදිකරන ලද Titan සබ්මැරීනය කාබන් ෆයිබර් වලින් සාදන ලද අතර එය සහතික කර තිබුණේ ටයිටැනික් සුන්බුන් වූ සාගර පත්ලේ මීටර් 1,300 ක් පමණක් වන දුරකට යා හැකි පරිදි පමණයි.