September 29, 2023

2023 වසර සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ලංවිම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද 2023 වසරේ යෝජිත 03වැනි විදුලි ගාස්තු සංශෝධනය යෝජනාව www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් පරිශීලනය කළ හැක.

2023 සඳහා යෝජිත 3 වන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ ලිඛිත අදහස් සහ යෝජනා 2023 ඔක්තෝබර් 18 දක්වා භාර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කරයි.

ඒ පිළිබඳ වාචික පාර්ශ්වකරුවන්ගේ උපදේශනය 2023 ඔක්තෝබර් 18 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතිකසම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.

වාචික පාර්ශ්වකරුවන්ගේ උපදේශනයට සහභාගී වීමට කැමති අයට 071 862 2800 අමතා ලියාපදිංචි වන ලෙස උපදෙස් දෙනු ලැබේ.

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වැනි වගන්තිය යටතේ, කොමිෂන් සභාව වෙත පවරා ඇති බලතල අනුව මෙම පාර්ශවකරුවන්ගේ උපදේශනය සිදුකෙරේ.