February 3, 2024

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සම්බන්ධයෙන් සිදුකර ඇති සංවේදී විමර්ශනවල සටහන් සහ ලේඛන සිය පෞද්ගලික ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කර බාහිර පාර්ශ්වයක් වෙත යොමුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනයකදී හෙළි වූ තොරතුරු මත එම කොට්ඨාසය පෙරේදා (1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සැකකාර කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායෑමට උත්සාහ කිරීමේ සිද්ධියට පෙර ගිය වසරේ (2023) සැප්තැම්බර් මස දිනක සැකකාර කොස්තාපල් මෙම තොරතුරු බාහිර පාර්ශ්වයක් වෙත යොමුකර ඇති බවද පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටාට ඉන් පළායෑමට උත්සාහ කිරීමට ආධාර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් කොස්තාපල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළාගොස් තවමත් සැඟවී සිටී.

ගිය වසරේ සැප්තැම්බර් මස දිනක හරක් කටා නමැත්තා ඉහත පොලිස් කොස්තාපල්ගේ සහායෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායෑමට උත්සාහ ගත් අතර, එදින රාජකාරියේ යෙදී සිටි විශේෂ කාර්ය බළකායේ උපපොලිස් පරීක්ෂකවරයකු විසින් මහත් පරිශ්‍රමයක් යොදා ඔහු මෙල්ලකර පළායෑමේ උත්සාහය වළක්වාගෙන තිබිණි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%