March 13, 2024

ශ්‍රී ලංකාවෙන් එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමුවැන්නා වන ජයන්ති කුරු-උතුම්පල 2023 වසර සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ විවිධත්වය පිළිබඳ ශූරයන්ගේ සම්මානයේ ආසියාවේ ජයග්‍රාහකයා බවට පත්ව තිබේ.

කඳු නැගීමේ දිගු කාලීන පළපුරුද්දකට හිමිකම් කියන ජයන්ති කුරු-උතුම්පල වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක ද වේ.

කාන්තා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ඇතුළුව ඇයගේ අධ්‍යයන ජයග්‍රහණ තුළින් අධ්‍යාපනය සඳහා ඇයගේ කැපවීම පැහැදිලි වේ.

2016 වසරේ ඇය එවරස්ට් වෙත ගිය ගමනේ සිට දෙස් විදෙස් පාසල්, විශ්වවිද්‍යාල, සමාජ ශාලා, වෘත්තීය ක්‍රීඩා කණ්ඩායම්, සංගම්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන, ආයතන මෙන්ම හමුදාව සහ පොලිසිය ඇතුළු අංශ රැසකට අභිප්‍රේරණ දේශන 500කට වැනි ප්‍රමාණයක් පවත්වා තිබේ.

මෙම සෑම අවස්ථාවකදීම එවරස්ට් තරණය පිළිබඳ ඇගේ කතාව බෙදා ගන්නා අතරම ඇය එවරස්ට් තරණයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඒකාකාරී මතවලට අභියෝග කිරීමේ අවශ්‍යතාව සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ විවිධත්වය පිළිබඳව ද කරුණු අවධාරණය කරයි.

ජයන්ති Delete-Nothing නම් වැඩසටහන සගයන් දෙදෙනෙකු සමඟ එක්ව ආරම්භ කරනලද්දේ තාක්‍ෂණය ආශ්‍රිත ප්‍රචණ්ඩත්වය, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ගැහැණු ළමුන්, කාන්තාවන් සහ සංක්‍රාන්ති පුද්ගලයන්ට එරෙහි අවස්ථා ලේඛනගත කිරීම අරමුණු කරගත් අන්තර්ජාල වේදිකාවක් ලෙසයි.

ඉදිරි ක්‍රියාමාර්ග සඳහා පහසුකම් සැලසීමට එවැනි ක්‍රියා වාර්තා කිරීමේ වැදගත්කම මෙමගින් අවධාරණය කරයි.

ජයන්ති ස්වාධීන උපදේශකවරියක් ලෙස කටයුතු කරන අතර ඇය දැනට ශ්‍රී ලංකාවේ පවුල් සැලසුම් සංගමයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ මානව හිමිකම් උපදේශකවරිය ලෙස කටයුතු කරමින් HIV සේවාවන් අපේක්ෂා කරන පුද්ගලයන් මුහුණ දෙන අපකීර්තියට සහ වෙනස් කොට සැළකීම ආදියට එරෙහිව ද කටයුතු කරයි.

පසුගිය වසර පහක කාලය තුළ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා ජයන්ති ස්වේච්ඡාවෙන් පවත්වන පර්වත තරණය කිරීමේ වැඩමුළු ඇයට මෙම සම්මානය ලැබීමට කැපී පෙනෙන සාධකයක් වී තිබේ.

ජයන්ති ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ SafeSport Policy පිළිබඳ පැමිණිලි කමිටුවේ ආරම්භක සභාපතිනිය වූ අතර දැනට කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස ද කටයුතු කරයි.

2021 දී සිංගප්පූරු ජාතික ඔලිම්පික් කමිටුව විසින් සත්කාරකත්වය සපයන ලද SafeSport ඉසව්වේ කථිකාවක් ලෙස ඇයට ආරාධනා කළ අවස්ථාවේ ඇයගේ ප්‍රවීණත්වය ලෝකය විසින් හඳුනා ගන්නා ලදී.

2019 මාර්තු මාසයේදී, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව වන කාන්තා පාර්ලිමේන්තු බල මණ්ඩලය විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයක කොටසක් ලෙස, ක්‍රීඩා අංශයේ “ශ්‍රී ලංකාව වෙනස් කරන කාන්තාවන් ” 12 දෙනාගෙන් කෙනෙකු ලෙස ජයන්ති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තෝරා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් පිරිනම ගෞරවනීය සම්මානය සම්බන්ධයෙන් ජයන්තිට සිය සුබ පැතුම් එක් කළේය.

බාධක බිඳ දැමීමට සහ ඇතුළත් වීමේ හැකියාව පෝෂණය කිරීමට ජයන්තිගේ ඇති නොසැලෙන කැපවීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් නොව සමස්ත ජාතියටම ආශ්වාදයක් බව ද ඔහු පවසයි.

මෙම පිළිගැනීම ක්‍රීඩාවේ සමානාත්මතාව සහ විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සාමූහික ප්‍රයත්නයන් නැවත තහවුරු කරන බවත් ඔහු සඳහන් කළේය.

ජයන්ති මෙම සම්මානය දිනා ගැනීම පිළිබඳ ඇගේ හැඟීම් බෙදා ගත්තේ, “මෙම ගෞරවනීය සම්මානය ලැබීම ගැන මට ගෞරවයක් සහ නිහතමානී බවක් දැනෙනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, විවිධත්වය සහ ඇතුළත් කිරීම සහතික කිරීම සඳහා, අපගේ ඉලක්ක කරා ළඟා වීම වළක්වන පීතෘමූලික ආකෘතිවලට අභියෝග කිරීමට අප සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව මම විශ්වාස කරනවා. උදාහරණයක් ලෙස, අපගේ පොදු ක්‍රීඩා පිටි දෙස බලා සිතන්න, ඒ තැන්වල ක්‍රීඩා කරන ගැහැනු ළමුන් කලාතුරකින් දකින්නේ ඇයි? ගැහැණු ළමුන්ට විනෝදාත්මක ක්‍රීඩා සඳහා ප්‍රවේශය ඇති බව සහතික කළ හැක්කේ කෙසේද? කාන්තා ක්‍රීඩා සඳහා කොපමණ මුදලක් ආයෝජනය කරනවාද? අනිවාර්යයෙන්ම එය ප්‍රමාණවත් නැහැ. එම නිසා , මෙම පීතෘමූලික සම්මතයන් බිඳ දමා, අප කවුරුන්ද, අප කොතැනක සිට පැමිණියද යන්න වෙනුවට සමානාත්මතාව, ගෞරවය සහ එකිනෙකාට ගෞරවය මත පදනම් වූ නව සම්මතයන් නිර්මාණය කළ යුතුයි.” යනුවෙන් ප්‍රකාශ කරමිනි.