December 2, 2024

විෂමාචාර සහ දූෂණ සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සාමාජිකත්වය තහනම් වීමේ අවදානමට ලක්ව සිටින ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට තවත් මුදල් විෂමාචාරයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ඒ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ජාතික ඔලිම්පික් මලල ක්‍රීඩක කොමිසමට ලබා දුන් මුදල් සම්බන්ධවය.

විවිධ දක්ෂතා වර්ධනය කිරීම සඳහා වූ සංවර්ධන ව්‍යාපෘති ආවරණය වන පරිදි වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ මලල ක්‍රීඩක සංසදයට ප්‍රදානය කරන ලද අමෙරිකානු ඩොලර් 10,000ක මුදලක් ප්‍රයෝජනයට නොගෙන අවභාවිත කර හෝ අතුරුදහන් කර ඇති බව ජාතික ඔලිම්පික් කමිටුවට සම්බන්ධ ඇතැම් උනන්දුවක් දක්වන පාර්ශ්ව විසින් චෝදනා නගා තිබේ.

එම අමෙරිකානු ඩොලර් 10,000ක මුදල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉලක්ක කරගනිමින් ඉංග්‍රීසි සහ අනෙකුත් පුහුණු වැඩසටහන් පැවැත්වීමට අදහස් කළ බවත් තිඑම වැඩසටහන් පැවැත් වූ බවත් සඳහන් වී තිබුණ ද එවැන්නක් පැවැත්වූ බවට පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බව වාර්තා වේ.

2022 දී පමණ ලැබුණු ප්‍රදාන කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වී ඇති බව ද කියනු ලැබේ.

මෙය ජාතික ඔලිම්පික් කමිටුවේ විවිධ අංශ සම්බන්ධයෙන් අවිශ්වාසයක් ඇති කිරීමට හේතු වී තිබේ.

මීට අමතරව, පදක්කම් අපේක්ෂාවෙන් පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනැමෙන ජාතික ඔලිම්පික් කමිටු ශිෂ්‍යත්ව ප්‍රදානයන් පසුගිය වසර දෙක තුළ ප්‍රමිතියෙන් අඩු, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නොමිලේ නිකුත් කර ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරයි.

එම ආරංචි මාර්ගවලට අනුව, ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි කිලෝග්‍රෑම් 73 කාණ්ඩයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන එවැනි ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

ඔහු වෙනුවට ජාතික ඔලිම්පික් කමිටුව විසින් 2024 ඔලිම්පික් ශිෂ්‍යත්වයේ නව ප්‍රතිලාභියා ලෙස රාජිත පුෂ්පකුමාර නම් කර තිබේ.

හිටපු ජාතික ජූඩෝ පුහුණුකරු අමල් රත්නායක 2023 දෙසැම්බර් මාසයේදී ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම්වරයාට ලිපියක් යවමින් එම ප්‍රශ්නය ඉස්මතු කර තිබිණි.

එහිදී ඔහු ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ හිටපු සභාපති දුමින්ද අසේල ද සිල්වාට බර්මින්හැම් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් පසු කඳවුරු බැඳීමට ඉඩ දීම සම්බන්ධයෙන් මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාට චෝදනා කළේය.

2021 වසරේ නාවලපිටියේ පැවැති ප්‍රමුඛ පෙළේ ජූඩෝ තරගයකදී ධර්මවර්ධන විසින් පුෂ්පකුමාර පරාජය කර ඇති බවත්, එවැනි ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට නව ශිෂ්‍යයාට නිසි දක්‍ෂතා සහතිකයක් නොමැති බවත් රත්නායක පෙන්වා දී ඇත.

ධර්මවර්ධන 2023 දී රටේ හොඳම ජූඩෝ ක්‍රීඩකයා ලෙස නම් කරන ලද අතර 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී හත්වැනි ස්ථානයටත්, 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී 9 වැනි ස්ථානයටත්, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී 17 වැනි ස්ථානයටත් පත් විය.

පුෂ්පකුමාරට මෙම ශිෂ්‍යත්වය පිරිනමනු ලැබුවේ ජුඩෝ ක්‍රීඩකයකු ලෙස ඔහු දැක්වූ දස්කම් හෝ ජයග්‍රහණ මත නොව, හුදෙක් මුදල් ලාභ මත පදනම්ව බවට ද එම ලිපියෙන් චෝදනා කර ඇත.

ඊට අදාළ සම්පූර්ණ සවිස්තරාත්මක ලිපිය ජාතික ඔලිම්පික් කමිටුවට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයට යවා මාස 12ක් ගතවී ඇතත් මෙතෙක් ගැටලුව විසඳි නොමැත.

42.31%
17.27%
32.76%