July 11, 2023

අලංකාරය සඳහා වගා කළ නිල් කටරොලු වාණිජ වගාවක් ලෙස සිදුකර අපනයනය කිරීම හරහා මේ වනවිට මෙරට ව්‍යවසායකයන් විශාල විදේශ විනිමයක් උපයන බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

මෙරට නිල් කටරොලු පවතින ස්වාභාවික තද නිල් පැහැය හේතුවෙන් බොහෝ විදෙස් රටවලින් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බැවින් මේ වනවිටත් පෝලන්තය, ඇමරිකාව, කැනඩාව වැනි රටවලට මෙම මල් අපනයනය සිදුකරයි.

ස්වාභාවික වර්ණකාරකයක්, රසකාරකයක් මෙන්ම සුවඳ කාරකයක් ලෙස මෙම නිල්කටරොලු භාවිත කරන බවත් නිල්කටරොලු මල් විජලනයට ලක්කර සම්පූර්ණ මල ලෙසත්, කුඩු ලෙසත්, කැබලි ලෙසත් අපනයනය කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ වනවිටත් වාර්ෂිකව නිල්කටරොලු මල් අපනයනය කිරීම මගින් ඩොලර් මිලියන දහයක පමණ විදේශ විනිමයක් මෙරටට ලැබේ.

දෛනිකව මෙම මල් කිලෝ තුන්සිය පනහක් පමණ නිෂ්පාදන කටයුතු සඳහා ව්‍යාපාරිකයන් වගාකරුවන් වෙතින් මිලදී ගැනීම සිදුකරයි.

අමු නිල් කටරොලු මල් කිලෝ දහයක් විජලනය මගින් වියළි මල් කිලෝ එකක් ලබාගත හැකිය. එබැවින් වියළි මල් නිෂ්පාදනය සඳහා විශාල අමු මල් ප්‍රමාණයක් අවශ්‍ය වේ.

එබැවින් වාර්ෂිකව අපනයනය කළ හැක්කේ විජලනය කළ නිල්කටරොලු කිලෝ දෙදහසක් පමණි.

මෙම ව්‍යාපාරයේ මේ වනවිට බොහෝ පිරිසක් නිරතවී සිටින අතර එයින් සියයට අනූවක් පමණ කාන්තාවන්ය.

මෙම ව්‍යපාරය සඳහා මාර්ගෝපදේශ අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ලබාගත හැකිය.

(අරුණ පුවත්පත)