August 2, 2023

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ අනකපල්ලි දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙක් සිය ඡන්දදායකයන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා තමාටම සෙරෙප්පුවෙන් පහරදීගෙන ඇත.

නර්සිපට්නම් මහ නගර සභාවේ සභා මන්ත්‍රී මුලපර්ති රාමරාජු විසින් සභා රැස්වීමක් අතරතුර තම කළකිරීම මෙසේ පිට කර තිබෙන අතර, මේ වනවිටත් එහි දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

තමන් මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වී මාස 31ක් ගතවී ඇතත් තම ප්‍රදේශයේ ජලාපවහනය, විදුලිය, සනීපාරක්ෂාව, මාර්ග ගැටළු වැනි සිවිල් ප්‍රශ්න විසඳීමට නොහැකි වී ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.

ඔටෝරික්ෂෝවක් පැදවීමෙන් ජීවිකාව ගෙන යන 40 හැවිරිදි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, තමා කොතෙක් උත්සාහ කළද ඡන්දදායකයන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බවයි.

ඉටු නොකළ ප්‍රජා වැඩ කටයුතු ක්‍රියාත්මක කරන ලෙස තම ඡන්දදායකයන් තමාට බල කරන බැවින්, පොරොන්දු ඉටු කිරීමට නොහැකිව සිටිනවාට වඩා සභා රැස්වීමේදී මිය යෑම වඩා හොඳ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.